web analytics

ව්‍රෙස්ලින්ග් සමඟ ජීවත්වී ව්‍රෙස්ලින්ග් වළල්ල තුළම මියගිය චරිත.


කලකට ඉහතදි අපේ රටේ උන්මාදයක් බවට පත්ව තිබුනු දෙයක් තමයි ව්‍රෙස්ලින්ග්. ඔය පිටකොටුවෙ මල්වත්ත පාර දිගේ තියෙන CD, VCD, DVD විකුණන කඩ කිහිපයකට ඔලුව දාල බැලුවොත් වැඩිපුර පේන්නෙ ව්‍රෙස්ලින්ග් තරඟ සම්බන්ධ වීඩියෝ තැටි. මිනිස්සු ප්‍රචණ්ඩත්වයට දක්වන කැමැත්ත ක්‍රීඩාවක් තුළින් පිළිබිඹුවන අවස්ථාවක්. නමුත් කාලයත් එක්ක මේ ව්‍රෙස්ලින්ග් උණ යම්තාක් දුරකට යටපත්වෙලා තියෙන තත්ත්වයක් තමයි පේන්න තියෙන්නෙ. මේකට බලපෑම් කළ එක හේතුවක් තමයි MMA තරඟ සීඝ්‍රයෙන් ජනප්‍රියවීම. තවත් කාරණයක් තමයි ව්‍රෙස්ලින්ග් කියන්නෙ ඇත්තටම දකින දේද එහෙමත් නැත්නම් මවා පෙන්වන දෙයක්ද කියන එක. කලින් සැලසුම් කරගත් පූර්ව පිටපතකට අනුව සිදුවෙන රඟපෑමක් කියන කාරණය සමාජගතවීමත් සමඟ ප්‍රේක්ෂක ආකර්ෂණය අඩුවීමක් දක්නට ලැබෙනව. ඇතැම් තරඟ අතර සිදුවන පහරදීම් පවා ව්‍යාජ පහරදීම් බව හෙළිවන වීඩියෝ පට යූ ටියුබ් ඔස්සේ ප්‍රචාරණය වීමත් ව්‍රෙස්ලින්ග්වලට සිදුවෙන අවාසිදායක තත්ත්වයක්. ඒ වගේම 2008 වර්ෂයේදී තිරගතවුනු The Wrestler වැනි විශිෂ්ට සිනමා නිර්මාණයක් තුළ පවා මෙම ක්‍රීඩාවක් ලෙස සිදුවන සංදර්ශනයේ යථාර්ථය, බොහෝ ව්‍රෙස්ලින්ග් ක්‍රීඩකයින්ගේ ජීවිතවල යථාර්ථය මැනවින් නිරූපණය කරන්න සමත් වෙනව.

හැබැයි ව්‍රෙස්ලින්ග්වල ඇත්ත බොරුව මොකක් උනත් ව්‍රෙස්ලින්ග් හින්ද ජීවිත හානි සිදුවුනු අවස්ථා ඉතිහාසයේ ඉඳලම වාර්තා වෙනව. ව්‍රෙස්ලින්ග් ක්‍රීඩා කිරීම නිසා ඇතිවුනු මානසික ප්‍රශ්න, ආතතිය වැනි ගැටලු නිසා සියදිවි හානිකරගැනීම්, අධික මත්ද්‍රව්‍ය භාවිතය නිසා ජීවිතක්ෂයට පත්වීම් වාර්තා වෙලා තියෙනව. ඒ වගේම තමයි ව්‍රෙස්ලින්ග් වළල්ල තුළ සිදුවූ පහරදීම් නිසා ඇතිවූ ආබාධ තත්ත්වයන් හේතුවෙන් කෙටි කලක් තුළ මියගිය අයත් ඉන්නව. නමුත් අපි මේ කියන්න හදන්නෙ ඊට වඩා තරමක් වෙනස් දෙයක් ගැන. ව්‍රෙස්ලින්ග් තරඟ අතරතුර, ව්‍රෙස්ලින්ග් වළල්ල තුළ මියගිය ක්‍රීඩක ක්‍රීඩිකාවනුත් 20කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනව. ඒ අතරින් වඩාත් ප්‍රකට චරිත කිහිපයක් පිළිබඳව විමසා බලන්න තමයි මේ හදන්නෙ.

01. ‘අයන්’ මයික් ඩිබියාසෙ.

 

Image: prowrestling.wikia.com

මේ ඇවිල්ල ව්‍රෙස්ලින්ග් පරපුරක මුල්ම පුරුක. ඉතාලි සම්භවයක් තියෙන මයිකල් ඩිබියාසෙ විවාහ වෙන්නෙත් වෘත්තීය ව්‍රෙස්ලින්ග් ක්‍රීඩිකාවක වන හෙලන් හිල්ඩ් සමඟ. ඇයගේ පුත්‍රයා වගේම මයිකල් ඩිබියාසෙගෙ හදාගත් පුත්‍රයාද වන ටෙඩ් ඩිබියාසෙ සහ මයිකල් ඩිබියාසෙගෙ මුනුපුරන් තිදෙනාද ප්‍රකට ව්‍රෙස්ලින්ග් ක්‍රීඩකයින්. 1969 ජූලි 02 දින ටෙක්සාස්හි ලබොක්වල පැවති තරඟයක් අතරතුර ඇතිවුනු හෘදයාබාධයකින් තමයි මයික් ඩිබියාසෙ මිය යන්නෙ. ඔහුගෙ ප්‍රතිවාදිය ගැරී ෆ්ලෙචර් හෙවත් මෑන් මවුන්ටන් මයික්. මෙම මරණය අධික කොලස්ට්‍රෝල් නිසා සිදුවූවක් බව තමයි හඳහන් වෙන්නෙ.

02. ලූතර් ලින්ඩ්සේ.

 

Image: www.wwe.fr

ලූතර් ජේකොබ් ගුඩාල් හෙවත් ලූතර් ලින්ඩ්සේ කියන්නෙ ව්‍රෙස්ලින්ග් ලෝකයේ සුපිරි තරුවක් වූ මුල්ම අප්‍රිකානු – ඇමෙරිකානු සම්භවයක් තියෙන කිහිපදෙනාගෙන් කෙනෙක්. ඒ වගේම ඔහු ව්‍රෙස්ලින්ග්වලට අමතරව වෘත්තීය වශයෙන් ඇමෙරිකානු පා පන්දු ක්‍රීඩාවේ නිරත වූ අයෙක්. 1972 පෙබරවාරි 21 වන දින බොබී පෝල් සමඟ පැවති තරඟය තමයි ලූතර් ලින්ඩ්සේගේ අවසන් තරඟය. තරඟය ආරම්භවී මිනිත්තු දහයක් ඇතුලත ඔහු විසින්ම එල්ල කළ ප්‍රහාරයක් අතරතුර ඇතිවන හෘදයාබාධයකින් ඔහු මිය යනව. ඒ තම ප්‍රතිවාදියා වූ බොබී පෝල්ගේ සිරුර මත.

03. කින්ග් කොන්ග් කර්ක්.

 

Image: www.pinterest.com

මැල්කම් කර්ක් හෙවත් කින්ග් කොන්ග් කර්ක් ව්‍රෙස්ලින්ග්වලට එන්න කලින් වෘත්තීය රගර් ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහු සේවය කළේ පතල් කම්කරුවෙක් ලෙස. මේ ඉංග්‍රීසි ජාතිකයව “කින්ග් කොන්ග්” කියල කියන්නෙ ඇයි කියල හිතාගන්න පුලුවන්නෙ. ඒ ඔහුගෙ සද්ධන්ත ශරීරය නිසා. ඒ යුගයේ ව්‍රෙස්ලින්ග් ලෝකයේ සිටි යෝධයින් කිහිපදෙනාගෙන් කෙනෙක් තමයි මැල්කම් කර්ක්. 1987 අගෝස්තු 04 නෝෆෝක්හි ග්‍රේට් යාමවුත්වල පැවති ටැග් ටීම් තරඟයක් අතරතුර තමයි ඔහු මිය යන්නෙ. ඔහුගේ ප්‍රතිවාදීන් උනේ ෂර්ලි “බිග් ඩැඩී” ක්‍රැබ්ට්‍රී සහ ග්‍රෙග් වැලන්ටයින්. බිග් ඩැඩීගෙන් එල්ලවූ ප්‍රහාරයකින් පසුව ඇතිවූ හෘදයාබාධයකින් ඔහු මිය ගියත් එය මුල සිටම පැවති රෝගී තත්ත්වයක් නිසා සිදුවූ මරණයක් ලෙස වාර්තාවෙනව.

04. ඕරෝ.

 

Image: ilyke.com

ව්‍රෙස්ලින්ග්වලටම උරුම පවුල් පසුබිමක් තියෙන මෙක්සිකානු ක්‍රීඩකයෙක් තමයි හේසුස් හැවියර් හර්නැන්ඩෙස් සිල්වා හෙවත් ඕරෝ. වෙස්මුහුණක් පැළඳගෙන තරඟකිරීම ඔහුගෙ ට්‍රේඩ්මාක් එක. වයස අවුරුදු 18 දි ව්‍රෙස්ලින්ග් වළල්ලට පා තබන මොහු වයස අවුරුදු 21 දි එහිදීම මිය යනව. ඒ 1993 ඔක්තෝම්බර් 26 ටැග් ටීම් තරඟයක් අතරතුර. ඔහුගෙ සහයකයින් උනේ ලා ෆියෙරා සහ බ්‍රාසෝ ඩි ප්ලාටා. ප්‍රතිවාදීන් උනේ කහෝස්, ඩොක්ටර් වැග්නර් සහ හැක්මේට්.

05. ලැරී කැමරන්.

 

Image: alchetron.com

ලැරී කැමරන් කියන්නෙත් ව්‍රෙස්ලින්ග්වලට එන්න කලින් වෘත්තීය මට්ටමෙන් ඇමෙරිකානු පා පන්දු ක්‍රීඩාවේ නිරතවුනු අයෙක්. ආබාධ තත්ත්වයන් නිසා එයට සමුදෙන ලැරී ඉන් අනතුරුව තෝරාගනු ලබන්නේ ව්‍රෙස්ලින්ග් ක්‍රීඩාවයි. 1985 දී ව්‍රෙස්ලින්ග් බිමට පිවිසෙන ඔහු 1993 දී මිය යනව. ඒ 1993 දෙසැම්බර් මස 13වන දින ජර්මනියේ බ්‍රෙමන් නගරයේදී ටෝනි සෙන්ට් ක්ලෙයාර් සමඟ පැවති තරඟයක් අතරතුර ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන්.

06. ප්ලම් මරිකෝ.

 

Image: www.providr.com

ව්‍රෙස්ලින්ග් වළල්ලෙ මිය ගිහින් තියෙන්නෙ පිරිමි විතරක්ම නෙමෙයි. කාන්තාවන් කිහිපදෙනෙකුත් ඒ අතර සිටිනව. මරිකෝ උමේඩා හෙවත් ප්ලම් මරිකෝ කියන මේ ජපන් තරුණියත් ඒ අතරින් කෙනෙක්. ව්‍රෙස්ලින්ග් හේතුවෙන් ජපානය තුළ වාර්තාවූ පළමු මරණය එයයි. ඒ 1997 අගෝස්තු 15 හිරෝෂිමා සන් සිටිහි මයුමි ඔසාකි සහ රීකෝ අමානෝට එරෙහිව පැවති ටැග් ටීම් තරඟයක් අතරතුර එල්ලවූ පහරදීමක් නිසා මොළයට ලේ ගැලීමෙන්.

07. ඕවන් හාට්.

 

Image: tjrwrestling.net

කැනේඩියානු ව්‍රෙස්ලින්ග් පවුලකින් පැවත එන චරිතයක් තමයි ඕවන් ජේම්ස් හාට් හෙවත් “බ්ලූ බ්ලේසර්”. ඔහුගේ පියා මෙන්ම සොහොයුරන්ද ප්‍රකට ව්‍රෙස්ලින්ග් ක්‍රීඩකයින්. ඒ වගේම ව්‍රෙස්ලින්ග් ලෝකයේ බිහිවූ විශිෂ්ටයෙක් ලෙසත් මොහුව සලකනු ලබනව. කොහොම උනත් ඉතාමත්ම අවසනාවන්ත අනතුරකින් තමයි මොහු මියයන්නෙ. ඒ 1999 මැයි 23 වනදා මිසූරිවල කැන්සාස් සිටිහි පැවති තරඟයක් අතරතුර අඩි 78ක ඉහළ සිට පොළවට ඇදවැටීමෙන්.

08. ගැරී ඕල්බ්‍රයිට්.

 

Image: tvtropes.org

1988 වසරේදී ව්‍රෙස්ලින්ග් සඳහා අවතීර්ණවන ගැරී ඕල්බ්‍රයිට් ඉන් සමුගන්නේ වසර 2000 දී සිදුවූ ඔහුගේ මරණයත් සමඟයි. මේ අතර කාලයේ ඔහු ප්‍රකට ව්‍රෙස්ලින්ග් ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ අයෙක්. 2000 ජනවාරි මස 07 වනදා පෙන්සිල්වේනියාවේ හේසල්ටන්හිදී ඔහු තරඟ වැදුනෙ බිල් ඔවන්ස් හෙවත් ලුසිෆර් ග්‍රිම් සමඟ. එහිදී ඇතිවූ හෘදයාබාධයකින් තමයි ගැරී ඕල්බ්‍රයිට් ජීවිතක්ෂයට පත්වෙන්නෙ. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 36යි.

09. මිට්සුහාරු මිසාවා.

 

Image: www.kingfish.co.jp

ජපන් ව්‍රෙස්ලින්ග්වල දැවැන්ත චරිතයක් තමයි මිට්සුහාරු මිසාවා. ලෝක ශූරතාවය අටවරක්ද, හෙවිවෙයිට් ශූරතාවය තෙවරක්ද දිනාගත් මොහු වසරේ ව්‍රෙස්ලින්ග් ක්‍රීඩකයා ලෙසද තෙවරක්ම තෝරාගැනුනු අයෙක්. කොටින්ම කිව්වොත් 90 දශකය පුරාම වැඩ පෙන්නපු චරිතයක්. 2009 ජූනි 13 වන දින අකිතොශි සයිටෝ සහ බයිසන් ස්මිත්ට එරෙහිව හිරෝෂිමා ග්‍රීන් ඇරීනාහි පැවති ටැග් ටීම් තරඟයක් අතරතුර මිට්සුහාරු මිසාවා මරණයට පත්වෙනව.

10. පෙරෝ අග්වායෝ ජූනියර්.

 

Image: www.telemundo52.com

පෙඩ්රෝ අග්වායෝ රමීරෙස් හෙවත් පෙරෝ අග්වායෝ ජූනියර් ගෙ මරණය තමයි දැනට වාර්තාවෙන අවසන් සිදුවීම. ඉතාම මෑතකදි තමයි මේ අවසනාවන්ත සිද්දිය වෙන්නෙ. මේ මෙක්සිකන් ජාතික ව්‍රෙස්ලින්ග් ක්‍රීඩකයාගේ මරණය සිදුවෙන්නෙ ටැග් ටීම් තරඟයක් අතරතුර. ඒ 2015 මාර්තු 20 ටිජුවානාහිදී. ඔහුගේ ප්‍රතිවාදීන් උනේ ප්‍රකට ව්‍රෙස්ලින්ග් ක්‍රීඩක රේ මිස්ටීරියෝ සහ එක්ස්ට්‍රීම් ටයිගර්. එහිදී රේ මිස්ටීරියෝ විසින් එල්ල කළ පහරක් හේතුවෙන් හේතුවෙන් තමයි ඔහු ජීවිතක්ෂයට පත්වෙන්නෙ.

මූලාශ්‍ර අන්තර්ජාලයෙන්.


Like it? Share with your friends!

1.2k SHARES
1.2k SHARES
What's Your Reaction?
Cute Cute
4
Cute
Lol Lol
4
Lol
OMG OMG
6
OMG
Thanks Thanks
2
Thanks
Cry Cry
1
Cry
Like Like
3
Like
Confused Confused
2
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
3
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ව්‍රෙස්ලින්ග් සමඟ ජීවත්වී ව්‍රෙස්ලින්ග් වළල්ල තුළම මියගිය චරිත.

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Poll
Story
Video
Image