අතීත මතක – ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය වූ විදෙස් ටෙලි නාට්‍ය 12ක්.

Top 12 TV Series of All Time in Sri Lanka

ඔය දැන් පෙන්නන ඉන්දියානු, කොරියානු ටෙලි නාට්‍ය රැලි එන්න සෑහෙන කාලෙකට කලින් හැමෝම කැමැත්තෙන් බලපු විදේශීය ටෙලි නාට්‍ය ගණනාවක් රූපවාහිනී නාලිකාවල විකාශනය කළා. ඒ කාලෙට සාපේක්ෂව දැන්නම් හැම රූපවාහිනී නාලිකාවකම වගේ හතු පිපෙන ගානට විදෙස් ටෙලි කතා. හැබැයි කීයෙන් කියකද නමවත් මතක හිටින්නෙ. අන්න ඒකටත් එක්ක ඉස්සර බලපුව. 80 දශකයේ විකාශනය කරපු කතා උනත් අදටත් හොඳට මතකයි.

ඒත් දැන් පරම්පරාව මේ සමහර විදෙස් ටෙලි නාට්‍ය අහලවත් නෑ. කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් මෙතන තියෙන්නෙ පරම්පරා ගැටුමක් කියල. මොකද හැමෝම කැමති තමන්ගෙ යුගය, තමන් ගත කරපු ළමා කාලය තමයි හොඳම කියල කියන්න. නමුත් මෙතෙන්දිනම් ඔය තත්ත්වය තරමක් වෙනස්. ඇත්තටම බැලුවොත් දැන් එහෙම ආශාවෙන් බලන්න තරම් කතා තියෙනවද? කොහොම කොහොමහරි දැන් මේවට බදුත් වැඩිකරල තියෙන හින්ද ඉදිරියෙදි ගුණාත්මක කෙසේ වෙතත් ප්‍රමාණාත්මක වෙනසක්වත් වෙන්න ඉඩ තියෙනව. කාලයත් එක්ක බොහෝ දේවල් වෙනස්වෙනවනෙ.

රායිට්, දැන්නම් අපි මේ කියන්න හදන්නෙ විදෙස් ටෙලි නාට්‍යවල ගුණාත්මකබව ගැනනම් නෙමෙයි. ඉස්සර බලපු අමතක වෙන්නෙ නැති විදෙස් ටෙලි නාට්‍ය කිහිපයක් ගැන මතකය අලුත් කරන්න තමයි මේ හදන්නෙ.

12. දියකඩඉම

Image: upload.wikimedia.org
Image: upload.wikimedia.org

මේ චීනෙන් ආපු සුපිරි කතාවක්. 1998 දි තමයි මේ කතාව මුලින්ම චීනයේ විකාශනය වෙන්නෙ. නමුත් ජාතික රූපවාහිනියෙන් මේ කතාව අපිට මුලින්ම දකින්න ලැබුනෙ 2003 දි විතර තමයි මතක හැටියට. තනිකර මාෂල් ආට් ලෝකයක්. සත්‍ය සිදුවීම් පදනම් කරගෙන චීන ලේඛක Shi Nai’an ලියපු Water Margin නවකතාව ඇසුරෙන් තමයි මේ ටෙලිනාට්‍ය නිර්මාණය වෙන්නෙ. මේ කතාවෙ සම්පූර්ණ කොටස් 43යි.

11. The Incredible Hulk.

Image: http://kingoftheflatscreen.com/
Image: http://kingoftheflatscreen.com/

හල්ක්වනම් හැමෝම දන්නව. මෑතකදි මාවල් කොමික්ස් ආශ්‍රයෙන් හැදුනු ඇවෙන්ජර්ස් චිත්‍රපට නිසා හල්ක් කියන මේ කොළපාට කේන්තිකාර යෝධය සෑහෙන ප්‍රසිද්ධයි. ඒත් කාටද මතක ස්වාධීන රූපවාහිනියෙ විකාශනය කරපු මේ කතාමාලාව. දැනට අවුරුදු 20කටත් එහා අතීතයෙදි අපි මුලින්ම හල්ක්ව අඳුනගත්තෙ මේ කතාවෙන්. මේක මුලින්ම විකාශනය වෙන්නෙ 1977 දි ඇමෙරිකා එක්සත් ජනපදයෙ.

10. Xena: Warrior Princess.

Image: denofgeek.com
Image: denofgeek.com

අම්මෝ ෂීනා. කොහොම අමතක වෙන්නද? සාමාන්‍යයෙන් කාන්තා වීර චරිත කේන්ද්‍ර කරගෙන හැදෙන කතා සාපේක්ෂව අඩුයි. ඒ නිසාමද කොහෙද මේ කතාවනම් සෑහෙන ජනප්‍රියත්වයක් ලැබුව. පැරණි ග්‍රීක මිථ්‍යා කතා, ග්‍රීක සාහිත්‍යයේ එන චරිත සහ සිදුවීම් වගේම ග්‍රීක ඉතිහාස කතා ආශ්‍රය කරගෙන නිර්මාණය කරපු කතාමාලාවක්. 1995 දි මුලින්ම විකාශනයවීම ආරම්භ කරපු මේ කතාමාලාව ඊට ටික කාලෙකට පස්සෙ අපේ රට විකාශනය වෙන්නෙ ස්වර්ණවාහිනියෙන්.

09. 24.

Image: http://talkingcomicbooks.com/
Image: http://talkingcomicbooks.com/

ජැක් බවර් මතකද? එහෙමත් අමතක වෙනවද ඒ වගේ චරිත. මේ කතාව මූලික වශයෙන්ම ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වන මෙහෙයුම් ගැන තමයි තේමාවෙන්නෙ. ජැක් බවර් ලෙස කීෆර් සදර්ලන්ඩ් රංගනයෙන් දායක වූ මෙම කතා මාලාව සම්මානනීය කතා මාලාවක්. එය ගෝල්ඩන් ග්ලෝබ් වගේම ප්‍රයිම්ටයිම් එමි සම්මාන පවා දිනාගත් කතාමාලාවක්. සිරස රූපවාහිනී නාලිකාවෙන් තමයි මේ කතාව අපේ රටේ විකාශනය උනේ.

08. කුංග් ෆු.

Image: tvguide.com
Image: tvguide.com

ඩේවිඩ් කැරඩයින් රඟපෑව කුංග් ෆු කතාමාලාව මතකද? මේක විකාශනය කළේ ජාතික රූපවාහිනියෙ. ටයිටස් තොටවත්ත මහත්තයට පින් සිද්දවෙන්න අපි බලපු කතා මේව. මොකෝ දැන් වගේ ඉන්ටර්නෙට් එකෙන් හොයාගෙන බලන්න කියලද? නෑනෙ. ෂා ඔලින් පන්සලේ කුංග් ෆු ඉගෙන ගන්න හිමි නමක් අධිරාජ්‍යයාගේ ඥාති පුත්‍රයව ඝාතනය කිරීම නිසා චීනයෙන් පලා යනව. ඒ තමන්ගෙ මව් රටවන ඇමෙරිකාවට. එහිදී තමන්ගෙ පවුල සොයාගෙන යන කතාව හා ඒ ආශ්‍රිතව ඇතිවන සිදුවීම් තමයි මේ කතාමාලාව තුළ දිගහැරෙන්නෙ.

07. Knight Rider.

Image: lh3.googleusercontent.com
Image: lh3.googleusercontent.com

මයිකල් නයිට් සහ ඔහුගේ සුපිරි මෝටර් රථය. මේක ඒ යුගයේ හැටියට ඉතාම ඉහළ තාක්ෂණික ක්‍රමවේදයන් යොදාගනිමින් අපරාධකරුවන් ලුහුබඳින සිදුවීම්වලින් පිරුණු ක්‍රියාදාම ටෙලි කතාමාලාවක්. මේ කතාමාලාවෙ තේමා වාදනය කතාවටත් වැඩිය ජනප්‍රිය උනා කිව්වොත් මම නිවැරදියි. මේකත් විකාශනය කළේ ස්වාධීන රූපවාහිනිය.

06. ටාර්සන්.

Image: http://fashionlove-974.skyrock.com
Image: http://fashionlove-974.skyrock.com

කේ. ජී. කරුණාතිලක මහත්තය පරිවර්ථනය කරපු එඩ්ගා රයිස් බරෝස්ගෙ ටාර්සන් පොත්වලින් ටාර්සන්ව අඳුනගන්න කලින් ටාර්සන්ව හම්බවුනේ මෙන්න මේ කතාවෙන්. මුලින්ම MTV එකේ ඉංග්‍රීසි උපසිරැසි සමඟ විකාශනය කරපු මේ කතාමාලාව පසුව සිංහලෙන් හඬකවලත් විකාශනය කළා. පොත්වලට වඩා තරමක් වෙනස් විදියට තමයි මේ කතාව නිර්මාණය කරල තිබුනෙ. හැබැයි මේකෙත් ජේන්ගෙයි ටාර්සන්ගෙයි පට්ට ලව් එකක්නම් තිබුන කියල හොඳට මතකයි.

05. රොබින්සන් අන්දරය.

Image: kierenhutchison.com
Image: kierenhutchison.com

“සයුරේ ජීවිත නැව පෙරලී
මුතු සොයනා අය කොහෙදෝ
පන නල පාගා…..”

ආදරණීය කතාවක්. නැව මුහුදුබත් උනාට පස්සෙ දූපතක අතරමං වෙන රොබින්සන් පවුලෙ උදවියගෙ ධෛර්යවන්ත කතාව තමයි මේකෙ තියෙන්නෙ. කොච්චර බැලුවත් ඇතිවෙන්නෙත් නැති කතාවක්. 1998 දි මුලින්ම විකාශනය වූ මේ කතාමාලාව ඊට ටික කලකට පසු අපිටත් බලන්න ලැබුන සිංහලෙන් හඬකවල ජාතික රූපවාහිනියෙන්. මේකෙ තේමා ගීතයත් හරිම ලස්සනයි.

04. The X-Files

Image: denofgeek.com
Image: denofgeek.com

මේක බලල හිටිගමන් රෑට බයවෙන කාලෙකුත් තිබුන. හැබැයි එහෙම කියල බලන එක නැවැත්තුවෙනම් නැහැ. ෆොක්ස් මෝල්ඩර් සහ ඩානා ස්කලී. නොවිසඳුනු අභිරහස් සිදුවීම් පිළිබඳව පරීක්ෂණ පවත්වන FBI නියෝජිතයින් දෙදෙනෙක්. ඔවුන් සිදුකරන පරීක්ෂණ පිළිබඳව තමයි The X-Files වල දිග හැරෙන්නෙ. 1993 දි මුල්වරට විකාශනය වන මෙම කතාමාලාව පසුව ශ්‍රී ලංකාවට පැමිණියේ ජාතික රූපවාහිනියෙන්.

03. මායා බන්ධන.

Image: yeah1.com
Image: yeah1.com

රියානා, පෝල්, කැත්‍රිනා, ඇලෙක්ස් සහ ආශ්කා. කොහොම අමතක කරන්නද මේ චරිත. සමාන්තර ලෝක පිළිබඳව සංකල්ප, විද්‍යා ප්‍රබන්ධ මුලින්ම ඔළුවට දාගත්තෙ මෙන්න මේක බලල තමයි. මොන ලෝකෙ හිටියත් මේක බලන්න වෙලාවට ගෙදර එන පුරුද්දකුත් ඉබේම වගේ හැදුන. මේ කතාවෙ සාර්ථකත්වය නිසාම “මායා බන්ධන: මකර රජ දහන” නමින් මෙහි දෙවන කොටසකුත් නිර්මාණය වෙනව. එයත් ලංකාවෙ ඉතාම ජනප්‍රිය වූ කතාවක්. මේ කතාව විකාශනය කළෙත් ජාතික රූපවාහිනියෙන්.

02. ඔෂීන්.

Image: www.pinterest.com
Image: www.pinterest.com

මේ ලිස්ට් එකේ තියෙන හැඟුම්බරම සහ පෞද්ගලිකව මට අනුවනම් හොඳම කතාව තමයි ඔෂීන්. කුඩා දැරියක ලෙස කටුක ජීවිත ගමනක් අරඹන ඔෂීන් තරුණ විය පසුකර වියපත්වන තෙක්ම තම ජීවන ගමන ගිය ආකාරය විශිෂ්ට ලෙස මෙම කතාමාලාව තුළින් ඉදිරිපත් කරන්න හැකිවෙලා තියෙනව. ජපානයේ NHK ආයතනය සමඟ පැවති සබඳතාවයන් හේතුවෙන් තමයි මේ කතාව ජාතික රූපවාහිනියට ලැබෙන්නෙ.

01. Robin of Sherwood.

Image: 2.bp.blogspot.com
Image: 2.bp.blogspot.com

මේක ලංකාවෙ අපිටනම් අමරණීය කතාමාලාවක්. මේ කතාමාලාව ගැන විතරක් වෙනමම ලිපියක් ලියන්න පුලුවන්. එදා මේ කතාවට වහ වැටිල බලපු පුංචි එවුන් අද අවුරුදු 30කටත් වැඩි අය. හැබැයි අදටත් ඒ පරම්පරාව ෂර්වුඩයේ රොබින් හුඩ්ට ආදරෙයි. ටයිටස් තොටවත්ත මහත්තය අපිට දීල ගිය හොඳම දේවල්වලින් එකක් තමයි මේ. රොබින්, මැරියන්, ලිට්ල් ජෝන්, විල්, ටක්, නසියර් සහ මච්. ඒ අතීතයේදි මේ තරම් ජනප්‍රිය වූ, අපේ ළමා කාලයට මේ තරම් බලපෑමක් කළ වෙන කතාවක් නම් තවත් නෑ කියල බය නැතුව කියන්න පුලුවන්. 80 දශකයෙදි මුල්වරට ලංකාවෙ විකාශනය කළේ ජාතික රූපවාහිනියෙන්.

මේ කතා ඇරුනම තවත් මතකයේ රැඳුනු කතා බර තොගයක් තියෙනව. Zoorro, The Cave of the Golden Rose, Friends, Amazon, Hercules, Young Hercules, Lost World, BeastMaster, Mortal Kombat, Relic Hunter වගේ කතා අතිශයින්ම ජනප්‍රිය වූ බවත් සිහිපත් කළ යුතුමයි.

Leave your vote

0 points

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

Refresh us with your thoughts..