ඔයාට ආදරය කරන කෙනා වෙනුවෙන් මොනවාද කරන්න පුළුවන් ? ලස්සනම ලස්සන ඇඳුම් අරන් දෙන්න, නැත්තම් මිල අධික තෑගි භෝග අරන් දෙන්න , ලස්සන ලස්සන තැන් වල ඇවිදින්න එක්කගෙන යන්න, ඔය වගේ දේවල් නේද? ආදරය කරන කෙනා වෙනුවෙන් ලොකුම ලොකු කන්දක් කපලා , ගමට යන්න පාරක් හදන්න උනොත් , ඔයා කැමතිද ? හැබැයි කාගෙවත් උදව්වක් නැතුව.
නෑ, මං හිතන්නේ නෑ දැන් කාලේ එහේම ආදරවන්තයෝ ඉන්නවා කියලා . ඒත් එහේම කරපු කෙනෙක් ඉන්නවා. මේ ලිපියෙන් කියවෙන්නේ ඔහු ගැනයි. කියවන්න, ආදරය වෙනුවෙන් ඔහුගේ කැපවිම කොයිතරම් උතුම් ද කියලා .
මේ කථාවේ , නායකයා ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගෙලොර් (Gehlour ) කියන ගමේ ජීවත් වුණ දශරත් මන්ජි යි. (Dashrah Manjhi) ඔහු තමාගේ මියගිය බිරිඳ සිහි වීම පිණිස විශාල කන්දක් දෙකඩ කර ගමට එන්නට පාරක් හදනවා. මේ සිදුවිමෙන් අපේ මතකයට එන තව කථාවක් තමයි ටජ් මහල් හදපු සාජහන්, මුම්ටාස් ආදර අන්දරය.
සාජහාන් රජු විශාල කිරිගරුඬ මාලිගාවක් තැනුවේ තම බිසව වන මුම්ටාස් දේවිය වෙනුවෙන් ඇය අකාලයේ මිය ගිය ශෝකයෙන්. ටජ් මහල තනා ඔහු මුළු ලොවම මවිත කළා. තම ප්‍රේමයේ තරම කියන්නට සාජහන් රජු විශාල ධනස්කන්ධයක්, විශාල මිනිස් ශ්‍රමයක්, හා ඒ වගේම දිගු කලක් ගතකරමින් ඉදිකළ මේ ආදරයේ කඳුළු බින්දුව දෙස හිරු බැස යන වෙලාවට බලමින් අදත් පෙම්වතුන් ඇසට කඳුළක් නංවා ගන්නවා. ඒත් දශරත් එයට දෙවැනි වෙන්නේ නෑ.
ඔහු ඉතා දුප්පත් දර කපන්නෙක්. ඔහුගේ බිරිඳත් ඉතා අවාසනාවන්ත අන්දමට තරුණ වියේදීම මිය යනවා. දශරත් විශාල කන්දක් එක්ක අවුරුදු 22 ක් හැප්පිලා කන්ද බිමට සමතලා කොට තම ගම්මානය නගරය හා යා කරන පාරක් තනිවම හදනවා කියන එක සැහැල්ලුවෙන් සළකන්නට පුළුවන්ද? ග්ලෝර් කියන්නේ ඉතාමත් කටුක, වියළි වටා පිටාවක් සහිත, රෝහලක්, පාසලක්, විදුලිය හෝ නැති අන්ත දුගී ගම්මානයක්. එපමණක් නොව එහි වැසියන් ඉතා පහත් කූලයකට අයිති ජන කොටසක්. ඔවුන් කුලීනයන්ගේ තර්ජන ගර්ජනවලට නිරන්තරයෙන් ලක් වෙමින් සිටියා.
කුලීනයන් ඔවුන්ට සැළකුවේ සතුන්ගේ ගානට. ඔවුන්ට පා වහන් දැමීමටවත් ඉඩ දුන්නේ නෑ. එසේ පාවහන් දමා අසුවුවහොත් ලාඩම් ගස්වන තරමට ඔවුන් අමානුෂික වුණා. දශරත් මන්ජි වැඩ කරනා තැනට දිවා ආහාරය ගෙන යන එක ඔහුගේ බිරිඳ පගුනිගේ සිරිතක්. ඇයට යැමට සිදුවන්නේ කඳුවැටිය අයිනේ ඇති බෑවුම් සහිත පාරක් දිගේ. දිනක් හිසේ තබා ගත් ආහාර බඳුනත්, අතින් ගත් වතුර කේතලයත් අතැතිව යන ඇයගේ පය ලිස්සා යන්නේ ඇගේ කරුමයට. ඇය කන්දෙන් පහළට රෝල් වී ගියා. බරපතළ තුවාල ලැබු පගුනියා අසාධ්‍ය තත්ත්වයට පත් වී මියෑදීමෙන් සියල්ල වෙනස් වෙනවා.
තම පණ මෙන් සිටි බිරිඳ අහිමි වීමෙන් දශරත්ට දැනුණේ මුළු ලෝකයම තම පා මුල කඩා වැටුණා වගේ. ඔහු මහත් කම්පනයටත් වේදනාවටත් පත් වෙනවා. මේ සියල්ල වෙනස් වෙන්නේ මේ අවාසනාවන්ත සිදුවීමත් සමගයි.
දශරත්ගේ අපූරු කතාන්තරය අධ්යක්ෂ කෙතන් මෙත්තා Ketan Metha විසින් Mountain Man නමින් සිනමා පටයකට නගා තියෙනවා. දශරත්ට තරුණ වියෙදී පගුනියා මුණ ගැසුණු ආකාරයත් ඇය සමග ගත කළ ප්රෙමාලිංගනයන් මනස්කාන්ත ලෙස ඔහු සිනමා බසට නගා තියෙනවා. බිරිඳ නැති වූ සොවින් ටික කලක් ගත කළ දශරත් ඉන්ක්බිති එක් සාහසික තීරණයකට එළඹෙනවා. තම බිරිඳ හැකි ඉක්මනින් රෝහලට ගෙන යාමට නොහැකි වූයේ තමා ඉදිරියේ ඇති මහ කන්ද නිසා යෑයි දශරත්ට වැටහෙනවා.
ඇත්තම කියනවා නම් ඔහුගේ ගමේ සිට නගරයේ රෝහලකට යාම සඳහා කි. මී. 54 ක් යා යුතු වෙනවා. එහෙත් කන්ද ඉතා ළගින් යා හැකි ඉඩක් අවුරා ගෙන ඉන්නවා. දශරත් තමාගේ එළුවන් තිදෙනකු විකුණා තමාට අවශ්‍ය ගල් කටුවක් හා මිටියක් මිලයට ගන්නවා.පසුදා උදේ රැයින් ඔහු කන්ද වෙත යනවා. කන්ද ඉදිරියේ ඇති උස් බිමකට නැගලා මෙසේ කියා කෑගසනවා. “උඹ හිතාගෙන ඉන්නේ දිනුවා කියල. දිනුවා කියලද? අහංකාර මෝඩයා. මම උඹව බිමට සමතලා කරනවා.” මේ කෑගැහිල්ල ඇහිල කන්ද හිනා වෙන්න ඇති. කන්ද විතරක් නෙවි ගෙහෙලෝර් ගමේ අයටත් හිනා ගියා. ඔවුන් කීවේ දශරත්ට ඔල්මාදෙ හැදිගෙන එනවා කියලයි. ඒත් දශරත් ඒවා ගණන් ගත්තේ නැහැ.
ඔහු කන්ද කපන්න පටන් ගත්තා. එතැන් පටන් සැමදාම උදේ රැයින් නැගිට (උදේ 4 ට) උදේ 8 දක්වාත්, ඉන්පසු රාත්‍රි 8 සිට රාත්‍රි 1 දක්වාත් ඔහු කන්ද කැපුවා.
1982 වන විට දශරත් මහලු වියට පත් වෙනවා. ඒ වන විට ඔහු කැපූ මාර්ගය අඩි 30 ක් පළලින් ද, අඩි 360 ක් දිගින් හා කඳුවැටියේ සිට අඩි 25 ක් පහළින් ද දිවෙන මගක් වී තිබුණා. එමෙන්ම නගරයට යාමට මෙතෙක් තිබුණු දුර කි.මී 55 සිට කි.මී. 15 දක්වා අඩු වී තිබුණා. අනතුරුව දිල්ලි නගරයට කීප වතාවක් ගිය දශරත් තම ගමට තවත් ජයග්‍රහණයක් ලබා දෙනවා. එනම් ගමට ලොකු අඩුපාඩුවක් වූ කුඩා ප්‍රමාණයේ ඩිස්පැන්සරියක්. ඉතින් තව දුරටත් බෙහෙත් නැතිව මේ ගමේ කිසිකෙනෙකූ මිය යන එකක් නම් නැහැ.
දශරත් මන්ජි 2007 අගෝස්තු 17 වැනිදා මුත්‍රාශයේ හටගත් පිළිකාවකින් රෝගාතුර වී දිල්ලි රෝහලේ දී මිය යනවා. බිහාර් ප්‍රාන්ත රජය ඔහු තැනූ මාවත දශරත් මන්ජි මාවත නමින් ඔහුට ගෞරව පිණිස නම් කරනවා. දශරත් මේ කාරණයේදී තම බිරිඳට වින කැටූ කන්දෙන් වාඩුව ගත්තේ එය දෙකඩ කොට කපා දැමීමෙන්. දෙවැනිව මුලදී තමා සමච්චලයට ලක් කළ ගැමියන් ඔහු විස්මය ජනක ලෙස නිහඬ කළා. තෙවැනිව තමාව නොසැලකූ බිහාර් ප්‍රාන්ත රජය, මහත්මා ගාන්ධි ඉංග්‍රීසි කාරයන් දණ ගැස්සුවාක් මෙන් තමා ඉදිරියේ දණ ගැස්සුවා. සිව්වෙනුව මිනිසෙකු සතු අසීමිත ශක්තියේ ප්ර්රමාණික බව මුදා හරිමින් ලොව මවිතයට පත් කළා.
එමෙන්ම ආදරයේ බල මහිමයත්, කැපවීමේ උදාර ධෛර්යත් ප්‍රකට කරමින් අදත් මේ අසාමාන්‍ය දශරත් මන්ජිගේ ප්‍රේමයේ මාවත දිගේ වාහන ගමන් කරනවා දැකිය හැකියි. පේනවා නේද ආදරයට කඳු පාත් කරන්න පවා පුළුවන් යි කීම බොරුවක් නෙවෙයි නේද?
Connect with us