web analytics

එන්න… ඇවිත් ඔබේ අම්මා හමුවන්න…


තම්බා බතල දළු
ලුණු දියර ඉස
පොල් ගා මුසු කොට කවා
බඩගිනි නිවූ අම්මා ඔබය.

උයා උදයෙන් නැගිට කඩයප්පන්
තබා තේ කඩයෙහි
ලබා ඉන් ලැබෙන සුළු වට්ටම
ජංගි ඇන්දූ අම්මා ඔබ ය

ගල්වා ඉසෙහි තෙල් යහමින්
එල්ලා කරෙහි පංචායුදය
අල්ලා ගෙන අතින් මා
පාසලට එක්ක ගිය
අකුරුනූගත් අම්මා ඔබ ය

ඇවිඳ ලඳු දෙණි කැලෑ බිම්වල
රැගෙන විත් තුන්හිරිය පන්හිරිය පන් කොළ
යොදා කුකුල් සායම් රතු හා කොළ
වියා නෙක් විසිතුරු රටා පැදුරු
රටාවක් බව මේ මහා විශ්වය
කුඩා කළ සිට ම මට
කියා දුන් අම්මා ඔබ ය.

මහගම සේකරයන් අම්මා ගැන කිව්වෙ එහෙම. මේ ලෝකේ ගුණෝපේත මව්වරුන් වෙනුවෙන් ඉතිහාසය පුරාවටත් මේ මොහොත වෙනතුරුත් කව් ගී අපමණ ප්‍රමාණයක් ලියවෙන්න ඇති. ඉදිරියටත් ඇය වෙනුවෙන් අනන්ත අප්‍රමාණ අකුරු අත්වැල් බැඳ ගනීවි.. ප්‍රබුද්ධ වෙනුවෙන් සේකරයන් පබඳපු ඉහත කවිවල ඉන්නෙ සේකරයන්ගෙ අම්මා විතරක් නෙමෙයි. අඩු වැඩි වශයෙන් වෙනස්කම් තියෙන විවිධ කැපකිරීම් කරපු හැම අම්මා කෙනෙකගෙම බෝසත්කම ඒ කවිවල ජීවමානයි.

Image : realtalkies.wordpress.com

අම්මා… අපි හැමෝටම අම්මා කෙනෙක් ඉන්නවා. ඇය මෙලොව හිටියත් නොහිටියත් ඔබේ මතකය තුළ ඇය සදා අමරණීයයි. විශේෂයෙන් පෙරදිග අපිට අම්මත් එක්ක තියෙන බැඳීම සදාකාලිකයි. අහිතක් හිතන්න එපා ඒකෙන් තාත්තලා ලඝු කරනවා නෙමෙයි. පවුලේ ප්‍රධානියා තාත්තා වුණාට ගොඩක් වෙලාවට පෙරමුණේ ඉන්නෙ අම්මා.
ඉස්සරම දවසක අම්මා වැඩඇරිලා එනකන් කඩුල්ල ලඟ මමයි අයියයි මග බලන් හිටපු හැටි චිත්‍රයක් වගේ මගේ හිතේ පාට වෙනවා..

අපිත් එක්ක අම්මා එනකන් බලන් හිටියෙ බෝලයා කියන අපේ බලු හුරතලා. මහවෙල ඉහත්තාවෙන් තිතක් වගෙ ඈතින් මතුවෙලා ගනේවෙල මායිමේ ඔය කිට්ටුවට එනකොට අම්මා සමීප රෑපයක් වෙනවා. එතකොට අපිතුන් දෙනාම දුවන්න ගන්නවා. හැබැයි අපිට කලින් අම්මා හම්බෙන්නෙ බෝලයා. ඊටත් පස්සෙ රැජිනක් ඉස්සර කරන් එන පෙරහැරක් වගේ අම්මා එක්ක අපි ගෙදර එනවා.

අම්මාට වැඩපළෙන් දවල්කෑමට හම්බුණ බත් එකේ ඉතිරි බිතිරි බෝලයට රස මසවුළක් වෙද්දි පත්තර කොලේ ඔතපු ආප්ප අපිට හම්බෙනවා. ආප්පවල පිට පැත්තෙ ඒ පත්තර කොලේ අකුරු ඇලිලා තියෙනවා. අපි ඒවා කටින්ම කඩලා දාලා කනවා. උදේ පාන්දරින් ඉර ඇහැරෙන්නත් කලින් වැඩට ගිය අම්මා අපි ආයෙ දකින්නේ ඉරත් සිය රාජකාරි අවසන් කරලා රාත්‍රියට වැඩබාර දෙන්න හෝරාවකට දෙකකට කලින්. අපේ බඩවල් පුරවන්න මහපාන්දර ඇහැරින ඇය මහ රෑ වෙනකන් ගෙදර වැඩ කරනවා. අයියයි මමයි ලොකු මහත් කරන්න අපේ පවුලෙ අම්මා දරපු වෑයම ප්‍රතිශතයක් ලෙස සීයට සීයයි. ජීවිතයේ සැදෑ සමයට එළඹි හිටියත් අදටත් අපේ අම්මා නොනිමි දරු සෙනෙහසින් අපේ දරු පැටව් බලනවා.

Image: lankaonglobe.files.wordpress.com

හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ හීන දකින්නේ
මහ මායාවනි කවදාදෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ

ඒ මගේ අම්මා. මම දන්නවා ඔබටත් බෝසත් ගුණෝපේත මව්වරුන් ඉන්නෙ. ඒ අම්මලා හැඩෙන් එකිනෙකාට වෙනස්. අපිට හද්දා පිටිසර අම්මලා වගේම ටවුන් වල ඉන්න අම්මලත් මුණගැහෙනවා. නූතන කිවියර පරපුරේ සලකුණු තියෙන කවියෙක් වන ඉසුරු චාමර සෝමවීර “ මගේ අම්මා”ගැන කියන්නෙ වෙනස් විදිහට.

ඉඳිකඩ ළඟ ඉඳන්
මග බලන
පැලක් නැති හේනක
අකල් වැසි වැටෙද්දී
තුරුළු කර පුතු රකින
තම්බා බතල දළු
ලුණු දියර ඉස කවන
දුම්මල ගලට යන
වඳුරඹින් කොපි පොත් ගේන ”
ඒ මගේ අම්මා නොවේ

මතකයි,
කුඩා මා අතින් ගෙන
ඇවිද ගිය හැටි ඔබ
තොටළඟ වීදි වල
මඩ කඩිති තුළ ඇඳි
දේදුණු පෙන්වමින්
සිරි සිරි පොදේ තෙමෙමින්

තාත්තා හොයන්නට
බූස්සට ගිය දවස් වල
බස් එකේ මඟ දිගට
කියා දුන්නා ඔබ
වෘකයා පැරද වූ
රතු හැට්ට කාරිය ගැන

වීසි කර කුඩා මා ගඟ දියට
“ඉතිං පීනා වර “, කියා
ගිලෙද්දී අතින් ඇද
මහ හඬින් හිනැහිලා
පහුවදා ආයෙමත් ඔබ
ගඟ දියට මා විසි කලා

ගුටි කා, තොල පැලී, ඉදිමී
මා ගෙදර ආ පෙර දිනෙක
නොගෙන ඔබෙ ඔය තුරුළට
තනියෙන්ම අඬන්නට ඉඩ හැර
ජෝතිගේ සිංදු ඇහුවා ඔබ පාඩුවේ
කිසිවක් නුදුටු විලසට

සායට රිබන් අල්ලන
“තරුණි” පත්තර බලා
මල් මෝස්තර හොයන
සුදු කෙස් කළු කරන
අම්මා ඔබයි මගෙ
කිසිදාක සාරි නොඅඳින

අමතකව ගිය ඇන්ජිගේ ගීයක
තනුව තාමත් මුමුණන
උපැසින් බලා හෙමිහිට
රිබන් එම්බ්‍රොයිඩරි කරන
පොළට ගොස් කේවල් කරන
හවස තේකට පැටිස් සාදන
මල් වවන, ඉරිදා පත්තර බලන
මගේ අම්මා ඔබයි
මා ලියන කවි නොකියවන
දුරින් හිඳ මදහස නගන

සේකරයන්ගේ ආරටම ලියවුණ ඒ කවිවල ඔබේ අම්මත් ඉන්න පුළුවන්. හැබැයි මතක තියා ගන්න අම්මා ටවුන් එකේද ගමේද කියලා නැහැ ඒ හැඩේ වෙනස් වුණාට හැම මවකගෙම සෙනෙහස උත්තරීතරයි. ඒ හින්දා තමයි“ මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා ”කියලා නන්දා මාලිනියන් ගයද්දි ඒ රිදුම් දෙන හඩ අපේ හදවතේ සියුම් තැන් සුසුර කරන්නෙ.

Image: rediff.com

අම්මා කියන පදවිය තරම් ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත්වුණ වෙනත් කාන්තා චරිතයක් නොමැති තරම්. ලෝකයේ හැම මහද්වීපයකම වෙනසක් නොමැතිවම පූජනීයව සලකන පළමු කාන්තාව ඇය. ඒ හින්දම තමයි ජනකවියගෙ ඉඳලා නූතන ගේය පබැඳුම් දක්වා කවියන්ට අම්මා නිමිත්තක් වෙලා ඉස්සරහින්ම ඉන්නෙ.

ඇතින්නියක් ලත් දරු පෙම්බරේයා
ඇතිනි රැලේ හැමට ම කිරි එරේයා
දෙතනේ මවක දුන් කිරි මෙසසරේයා
පුතුනේ බලන් සත් සමුදුර පිරේයා

ඒ ජනකවියා දකින මව්වත්කම. එදා ජනසමාජයේ අම්මා යන පදවිය බුද්දත්වය දක්වා ගෙන යාමට සුදුසු කමක් වුණා. මව්ගුණ වෙනුවෙන් කවි කියපු ඔවුන් අම්මා මතු බුදු වේවා කියලා කිව්වෙ තමන්ගෙ හදවතේ ගැඹූරුම තැනින් උපන් අසීමාන්තික ප්‍රේමයක් පෙරදැරිවයි.

ඉරු දෙවි ගිනිගත් මහ මද්දහනට කුඹුක් ගහක් වුණු මයෙ අම්මා
කර කොළයක්වත් නැති බඩ සායට දිවුල් ගහක් වුණු මයෙ අම්මා
ගෙරවිලි බියකරු විදුලි අකුණු මැද මහ දඹ රුක වුණු මයෙ අම්මා
මර සෙන් පරදා බුදුහිමි පිටදුන් මහ බෝවයි මට මයෙ අම්මා

Image: diyphotography.net

අම්මගෙ ආදරේ කියන්නෙ ජීවිතේ අමාරුම තත්පරේදීත් නොවෙනස් වන දෙයක්.‍ මව්වරුන්ගෙ සෙනෙහස අමරණීය වන්නෙ ඒ හින්දා. අපේ ජීවිත වලට විවිධ පාර්ශවයන් අත්වැල් බැඳගත්තත් ජීවිතයේ අමාරුම කාලවල දී ඒ අත්වැල් ගිලිහෙන්න පුළුවන්. හැබැයි අම්මා එතනමයි ඔබ එක්ක. ඒක තමයි දරු කැක්කුම කියන්නෙ.

දවසක් පැල නැති ‍හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ‍ තෙමුනා අම්මේ
පායනතුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ….

කපුගේගේ ගැඹූරු හඩට රංබණ්ඩා සෙනෙවිරත්නයන් පද ඇමුණුවේ ඒ සනාථන දහම තහවුරු කරමින්.

නුවර වීදි යටකරගෙන
නින්දා වැහි වැගිරුනදා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ..

අම්මගෙ ආදරේ අසමාන වෙන්නෙ ඔබ විශ්වාස කරපු, කිසිදා හැරනොයයි කියලා හිතපු මිනිස්සුත් ඔබව හැර ගියාට පස්සෙ. දන්නවද අම්මෙක් සිය අවසන් සුසුම් පොද වාතලයට මුහු කරන්නෙත් මහා දාරක ප්‍රේමයක් හදවතේ නිදන් කරගෙන‍ෙමතු අත්බවෙත් ඇගේම දරුවන් පතාගෙන.

Image: anxietyfreechild.com

සිය දරුවන් වෙනුවෙන් අනන්ත අපරිමිත දුක් උහුලන අම්මාවරු ඒ වෙනුවෙන් කළ යුතු සියල්ල නොබියව ඉටු කරනවා. අභියෝග හමුවේ සිය ගැහැණුකමත් අමතක කොට දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් පේ වෙන්න අපේ අම්මලාට පුළුවන් ඒ හින්දාම තමයි.

කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරණ අම්මා
සුසුම් හෙළා ගිණි දළු ගෙන ලිප මොලවන අම්මා
වෙල් දෙණි වල ඇවිද ගොසින්
වෙරළු ගෙනැත් අම්මා….

අම්මා කෙනෙක්ගෙ ඉවසීම හා කැපවීම රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ අපට කිව්වෙ ඒ විදිහට. පුතුන් රජුන් කරන්නට පුර්විකා තනන්නටත් සසර එතෙර කරවන බුදුවරුන් තනන්නට විවරණ දීමේත් උරුමකම හිමි වෙන්නෙ ඇයටම පමණයි. ඒ අයිතිය අනාදිමත් කාලයක ඉදලා සමාජය විසින්ම ඇයට පවරා දුන්නක්. එවන් ගෞරවයක් හිමිවන්නෙත් අම්මාවරුන්ට පමණමයි.

දරු සෙනෙහසින් මුහුඳත් කඳුලක් කරවා
බුදුවන පුතුන් හට ඇය ඉණිමං තැනුවා… ලේන කුලේ දුක් විඳින අම්මාවරුන් වෙනුවෙන් දීපිකා ප්‍රියදර්ශනී ගයන ඒ ගීය බෝසත් ගුණැති හැම අම්මා කෙනෙකුටම උපහාරයක්.

Image: city.fukuoka.lg.jp

අන්තර්ජාලයේ සැරිසරනකොට තරුණ කවියෙකු අම්මා ගැන කියන ටිකක් වෙනස් කවියක් හමුවුණා. හැබැයි ඒ කවියෙනුත් කියවෙන්නෙ අම්මාවරුන්ගේ නොවෙනස් ආදරය හා කැපකිරීම ගැනම තමයි.

නිකන් දවසට වැඩිය කලියෙන් පෝය දවසට ඇහැරිලා
වැවේ අයිනේ නෙලුම් මානෙල් පිපෙන හරියට ගාටලා
ගෝනියක් සුදු මල් කඩාගෙන හොඳම මල් ටික තෝරලා
ගිහින් පන්සල පේන හරියට බලා උන්නා නැවතිලා
හීනී ගල් කැට කකුලේ ඇනුනම රිදෙන්නට ඇති මහ ගොඩක්
වාරු නැති අඩි තියලා යනකොට දැනෙන්නට ඇති තනිකමක්
පෝය දවසට සිල් නොගත්තත් කඩාගෙන මහ මල් ගොඩක්
පහක් විස්සට දීපු පිනටම තවුතිසාවේ ඇති ඉඩක් ( ජනිත් විතාරණගේ)

Image: rufreeman.com

අම්මා කෙනෙකුට තමන්ගෙ දරුවන් වෙනුවෙන් මොනවද කරන්න බැරි. ජීවිතයේ අත්වැල් ලෙහී අන්ත අසරණ වුණ අම්මලත් දරුවො වෙනුවෙන් කරන කැපකිරීම් හිතන්නවත් බැරිවෙන තරම්. ඇයට පුළුවන් දරුවො වෙනුවෙන් ගණිකාවක් වෙන්නත්. ඇග ලේ මස් දන් දෙන්නෙ දරුවො රජුන් කරන ප්‍රාර්ථනාවෙන්ම තමයි. එහෙම අම්මාවරුන්ගේ නොලියවෙන , උපහාර නොපිදෙන ජීවිත කතා සමාජයේ බොහොමයි. මතු පිටින් නොපෙණුනාට ඒ ප්‍රශ්න සමාජ දේශපාලන කාරණා රැසක පාඩම් අපිට කියලා දෙනවා. සම්මානිත අපේ තරුණ කවියා ටිම්රාන් කීර්ති එහෙම අම්මා කෙනෙක් ගැන කියනවා.

නිමිත්ත- අම්මා වැරදිකාරියක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව.

පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනෙ අපි නිසයි ඈ වැරදි ද කෝම
බක්මහෙ කොවුල් බිත්තර පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් ඉල්ලනවද ගේම

තනේ කඩා විසිකර පත්තිනි වී නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වණේ පාරන්නේ වන පල විස වී නම්
නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්!

‘සතා’ කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා! වැඳපන් අම්මාට….

දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා
ලොකු හාමුදුරුවොත් අණකර බණ පද එව්වා
මුචලින්දගෙ ඇහේ නයි කඳුළක් නැටුවා
අම්මා බණ කතාවක් බුදු මැදුරෙත් ලිව්වා

යථාර්තය තිත්තයි. ඒත් දරුවො වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ හීන පරිත්‍යාග කිරීමේ බන්දේසිය උඩින් තියලා මේ රටේ අනන්ත අම්මලා දුක් විදිනවා. එහෙම අම්මා කෙනෙක්ට දණ ගහලා වදින්න දෙපාරක් හිතන්න එපා. ඔබට පුළුවන් වෙන්න ඕන එහෙම අම්මලටත් බුදු බව ප්‍රාර්ථනා කරන්න.

Image: spotlightenglish.com

අපි හැමෝටම හීන තියෙනවා. ඔබේ අම්මත් සාමාන්‍ය ගැහැණියක්. සමහරවිට ඇගේ ජීවිතේ හීන ඉටු නොවීමෙන් හිස් වෙච්ච පරිඡේද ඇති. ඒ පරිඡේද ඇය කැප කරන්න ඇත්තෙ ඔබ වෙනුවෙන්. තරුණ විය, විලාසිතා, සිරුරේ හැඩය , රුකියාව, දක්ෂතාවයන්…ඒ සියල්ල දාරක සෙනෙහසට යට වෙන්න ඇති. කවි වෙබ් අඩවියක තිබිලා ඉසුරුගෙ තවත් කවියක් හමුවුණා. මවකගෙ පරිත්‍යාගය.

රඟන ඒ නිළිය
දකින හැම විටෙක ම
අපේ අම්මා කියයි

“පාසැල් කාලෙදි
අපි හොඳම මිතුරියෝ
හිටියෙ එකම පංතියේ
එක ලෑලි බංකුවේ
ඒ දවස් වල ඈ
ඔපමණ ම ලස්සන නෑ”

ඉන්පසුව අපෙ අම්මා
බලන්නේ තම අත් දෙස
කැඩුණු නියපොතු දෙස
මැල්ලුම් ලියද්දී
ලියෙන මහපටැඟිලි දෙස

අනතුරුව ඈ බලා අප දෙස
මගෙ මුහුණ, මල්ලිගෙ මුහුණ
ඇස් හීන් කර හිනා වෙනවා
ඇගේ මුහුණේ රැළි තුනී කර….

මේ කවි විචාරය කිරීම ඔබට බාරයි. මොකද එහෙම කරද්දි ඔබට ඔබේ අම්මවත් මේ පද පේලි වල මුණ ගැහෙන්න පුළුවන්.

Image: Wikipedia

දවසක් ප්‍රේමකීර්ති ද අල්විස් අසනීපෙන් ඉන්න සිය මෑණියන් බලන්න යනවා. ප්‍රේමකීර්තිගේ ජීවිතේ හැලහැප්පිලි දිහා උපේක්ෂාවෙන් බලන් ඉවසන් ඉන්න මේ අම්මා එදා ඔහුට පොඩි ආඩපාලියක් කියනවා.

‘‘ උඔ ඔච්චර සින්දු ලියනවා. ඒත් තාමත් මං ගැන උඔට මුකුත් ලියන්න බැරි වුණා “
ඔබ දන්නවා. ප්‍රේමකීර්ති කියන්නෙ අසහාය පරිකල්පන ශක්තියෙන් යුතු සොදුරු නිර්මාණකරුවෙක්. ඔහු එදාම අම්මා වෙනුවෙන් ගීයක් ලියනවා.

ආදරයේ උල්පත වූ අම්මා … වික්ටර් රත්නායකයන් ගයන මේ ගීතය ඉපදීමේ නිධාන කතාව ඒක. කේමදාසයන්ගෙ දිව්‍යමය සංගීතයට මුහුවුණ ප්‍රේමකීර්තිගේ පද අපූරු සුසංයෝගයක්.

සඳ දිය කොට කිරිවතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන්
මතකයි මා නැලැවූවා…
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා…

අම්මා ගැන කියන්න ගියොත් අපේ ගීත සාහිත්‍යයේ එකපෙලට තියෙන එවැනි ගී රාශියක් අපිට හමුවෙනවා. ඒ සියල්ල ඔබට කිව යුතු නැහැ. ඔබට ඒ ගීත ඇහෙනවා. කරන්න තියෙන්නෙ අහගෙන ඉදලා ඒ ගීත වල තේරුම දැනගන්න එක විතරයි. ලෝකය ලස්සණ වෙන්නෙ හිරු එළියෙන් සහ අම්මගේ ආදරයෙන් කියලා ගොර්කි කිව්වෙත් මහප්‍රාණ අර්ථයකින්.

Image: mundoobrero.es

මැක්සිම් ගොර්කිගෙ ‘‘අම්මා” ඔබ නොදන්න පොතක් නෙමෙයි. සිය පුතුගේ උත්කෘෂ්ට අරමුණු වෙනුවෙන් වෙහෙසෙන මවක්. නීලව්නා… පාවෙල් විලාසව්ගේ විප්ලවීය ගමන් සගයා. ඔහුගේම මව. ඇය වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම දේශපාලනිකයි. අභීත අරමුණු වෙනුවෙන් සටන් වදින පුතෙකුට දරු ස්නේහයෙන් පහන් තාරකාවක් වූ අම්මා… ලෝක සාහිත්‍යයේ එක් සන්දිස්ථානයක්.

කව් ගී වලට පමණක් නෙමෙයි මව් සෙනෙහස සාහිත්‍ය ලෝකයේ විවිධ නිර්මාණ අත්‍රිකමණය කරනවා. සිනමාව , වේදිකාව, මේ හැමතැනකම මව් සෙනෙහස ප්‍රතිනිර්මාණ කරන්නට නිර්මාණ කරුවන් සමත්. එවැනි නිර්මාණ මව්ගුණයේ විශ්වීය බව සපථ කරනවා.

ඒත් අම්මාවරුන්ගේ දුෂ්කර පාරමිතාවන් කොයිතරම් ප්‍රමාණයක් අපේ ඇස නොගැටී, නිසි ඇගයීමකින් තොරව නිමා වෙනවද ? ඒ කටුක පාරමිතාවන් වලට වටිනාකම ගණනය කරන්නට ඉලක්කම් නැහැ. ඒවා අමිලයි.
අම්මාවරුන් දරුවන් වෙනුවෙන් නේක කැපකිරීම් කරද්දි ඔබ ඔවුන් වෙනුවෙන් කරලා තියෙන්නෙ කුමක්ද? ඔව් ඔබ බොහෝ දේ ඇය වෙනුවෙන් කරලා ඇති. කරන්න හිතාගෙනත් ඇති.

Image: chuls.wordpress.com

දෙමාපියන්ට සැලකීම සම්බන්ධයෙන් මාධ්‍යයෙන් අප හමුවට ගෙනෙන රූප රචනා සුන්දර නැහැ. වියපත් මව්වරුන් අතැර යන අජාසත් දූපුතුන්ගේ කථා වස්තූන් පත්තර පිටු පුරා ලියැවෙනවා. ඒත් ඔබ හොදට එවන් මවකගෙන් විමසන්න ඇගේ දරුවන් ගැන. ඇය කිසිදා ඔවුන් ගැන වැරැද්දක් නම් කියනු නැහැ. එහෙම අම්මා කෙනෙක්ගෙ සිතුවිලි මොන වගේ ඇද්ද… මහින්ද ප්‍රසාද් මස්ඉඹුල…රාජ්‍ය සම්මානිත කවියා….ගහක් යට නතර වුණ අම්මා කෙනෙක් අපිට මුණගස්සනවා.

පාන්දර පුතා මට කියූවිදියට
බොහෝ දුර ඇවිත් නැග පුතුගෙ රථයට
නතර කර පසුව නගරෙක ගසක් යට
හුස්ම හිරවුණත් පෙන්නුවෙ නෑ පිටට

පුත නුඹ වඩාගෙන මම ඉස්සර දිනෙක
ගමනක මහන්සිය හැර ගන්නට රැයෙක
නැවතුණ මෙතන මේ ගස හොඳ හැටි මතක
මෙතනට මාව ගෙන ඒමම පුදුමයෙක

ඉතින් පුතේ නුඹ බිහිවූ දිනේ සිට
ඇතින්නියකගේ හදකින් ලදපෙමට
ගිහින් එමි කියාවත් නොකියයන විට
ඇහෙන් ගලා හැළුණා හදවත බිමට

අතේ තියපු රුපියල් දාහ හරිබර
හිතේ සවිය ගෙන ඉමි දෑස් ගුළිකර
රතේ පදිද්දී කලබලයකින් තොර
පුතේ පරිස්සම් වී පලයන් ගෙදර……

ඉතින් යන්න… ගිහින් ඔබේ අම්මාව මුණ ගැහෙන්න… ඇගේ ආදරයේ සුවද විදගන්න… පුළුවන් කමක් ඇතොත් ඔබේ අම්මා ගැන පහළින් වචනයක් අමුණා යන්න…

වෙහෙරක් වගේ පිංදුන් කෙනෙක්
දෙවොලක් වගේ දුක් ලැබු කෙනෙක්
කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපේ අම්මා


Like it? Share with your friends!

2.6k SHARES
2.6k SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
1
Lol
OMG OMG
2
OMG
Thanks Thanks
6
Thanks
Cry Cry
19
Cry
Like Like
31
Like
Confused Confused
1
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

එන්න… ඇවිත් ඔබේ අම්මා හමුවන්න…

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes