ගාන්ධර්වයාගේ හඬින් ගැයුණු ආදරණීයම ගීත

Songs of maestro Amaradewa

හෙළයේ මහා ගාන්ධර්වයා පණ්ඩිත් අමරදේව ශූරීන් යන්නට ගොසින්ය. මේ සටහන ඔහුගේ නාමයට උපහාරයක්ම වේවා!

සේකර, සරත්චන්ද්‍ර, ගාමිණී, කේමදාස, චිත්‍රසේන, තොටවත්ත, ජෝ, තිස්ස, සයිමන්, සුගත්, ටෝනි, හෙන්රි ආදී වූ යුග පුරුෂයින්ගේ පරම්පරාවක අවසන් පරිච්ඡේද කිහිපය නිමාවීමට ආසන්නය. ඊයේ බිඳවැටුණු මේ බල කණුව පිළිබඳව වියත් සටහන් ඕනෑතරම් ලියවී ඇත. අදද ලියැවෙයි. අනාගතයේද ලියැවෙනු ඇත. සැබවින්ම එය එසේ විය යුතුය. නමුත් අපේ මේ උත්සාහය එතුමන්ගේ ජීවිත කතාව යළි යළිත් සටහන් කිරීමට නොවෙයි. අමරදේවයන් වෙනුවන් කළ හැකි ලොකුම උපහාරය නම් රසවින්දනය මියයමින් පවත්නා සමාජයකට, රසය නොහඳුනන පරම්පරාවකට අමර ගී රස බෙදා දීම බව අපි විශ්වාස කරන්නෙමු. අමරදේවයන් ගැයූ ගීත විශාල සංඛ්‍යාව අතර ඇති ආදරණීයම ගීත කිහිපයක් මෙසේ පෙළගස්වන්නෙ ඒ සඳහා පුංචි තල්ලුවක් ලබාදීමටයි.

12. කඳුළු කතාවේ නිමක් දුටුව දා

සුසුමක පාකර හසුන් යවා
දෙතැනක තනිවී හඬා දොඩා …//
ගෙවූ අතීතෙන් අප සමුගන්නෙමු
අළුත් ලොවක රන් කිරුළු දරා

කඳුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුණු දා
සතුටු ගඟක් ගැලුවා හදට හදක් බැඳුනා

ගායනය – පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය – බුද්ධදාස ගලප්පත්ති
සංගීතය – මහාචාර්ය සනත් නන්දසිරි

11. කැලේ ගහක මල් පිපිලා

කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා
හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා
රේණු තලා මල් නොතලා උන් පැණි බොනවා
මගේ දෑස මට නොකියා කරදර දෙනවා

ගායනය – පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය – මඩවල එස්. රත්නායක
සංගීතය – පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

10. රෑ හඳේ හේනකින් සීපද ඇහුනයි

රෑ ….
රෑ හඳේ හේනකින් සීපද ඇහුනයි
සීපද ඇහුනයි
හී ….
හීනෙකින් ඒ හඬට මගෙ හිත බැඳුනයි
මගෙ හිත බැඳුනයි

රෑණ බඹරු වටකර ගත් වැටකේ මල වැන්නේ
නුඹෙ රූ වරුණා සීපද මට කියන්න හිත දෙන්නේ

ගායනය – පණඩිත් ඩබ්.ඩී. අමරදේව සහ නිරංජලා සරෝජිනී
පද රචනය – ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය – ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

09. මින්දද හී සර

මෙතුවක් කල් මුව මඬල වසා සිටි
අන්ධකාර සළු පටින් මුදා …//
නෙත් මිණි පහනින් පහන් කරණු මැන //
අනාගතේ මං පෙත පාදා

මින්දද හී සර ‍වැදී සැලෙන හද
නංවන දුක් ගී ඔබ‍ට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන්සඳ

ගායනය – පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය – මඩවල එස්. රත්නායක
සංගීතය – පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

08. හීන් සැරේ ඔබ ආවා

හීන් සැරේ ඔබ ආවා ආවා
රෑ සයනෙන් පිබිදී ඔබ ආවා ආවා
යාන්තමින් මා සිත ඇඳි පිළිරුව
ඔබ ආවා ආවා
වැතිරී පෙම් සිරි යහනාවේ
ඔබ ආවා ආවා

ගායනය – පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග සුනේත්‍රා සරත්චන්ද්‍ර
පද රචනය – ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය- ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

07. වසන්තයේ මල් පොකුරු නෙළා

වසන්තයේ මල් පොකුරු නෙළා
ඔබ මා දෝතට ගෙනෙන තුරා
මග බලමින් මා සිටියා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා..//

අහස පොළොව ගිනියම් අව්වේ
ගහ කොළ මැළවෙන ගිම්හානේ..//
අවසානේ ඔබ ආවා

ගායනය – පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය – මහගම සේකර
සංගීතය – පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

06. පාවෙනා නිල් වලාවේ

තුරුණු සිතක පැතුම් වැළඳ ඈත පාවෙලා
සිහින නිම්නයේ සැරිසරා
පතන රුව ඔබේ
අප්සරාවියේ
පතන රුව ඔබේ
අප්සරාවියේ
පාවෙනා
නිල් වලාවේ

ගායනය – පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය – කුලරත්න ආරියවංශ
සංගීතය – සරත් දසනායක

05. පාලොස්වක සඳ පායනු වැන්නේ

කියා ගන්න බැරුවා
සිතු දේ තොල් අතරේ රැඳුනා
මනාපදෝ මන්දා
මා සිත ආදර මල් පිපුණා
තුන්ඉරි ගෙලට ළඳේ
රිදියෙන් මලා පොටක් දෙන්නා
එරබදු මල් මාසේ
නැකතට කැන්දාගෙන යන්නා
නැකතට කැන්දාගෙන යන්නා

ගායනය – පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග නීලා වික්‍රමසිංහ
පද රචනය – ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය – ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

04. ආරාධනා

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා
ආරාධනා

ගායනය – පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය – කුලරත්න ආරියවංශ
සංගීතය – ආචාර්ය රෝහණ වීරසිංහ

03. කුමරියක පා සළඹ සැලුනා

උකුළ ළැම හස මලවි කරළිය
මුවාකල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සළෙලුන්
උමතු වූ දෙනුවන් රැහැන් ඇද
මෙමා අබියස මැවුනු තුසිතය
සුරන් නැළවූ සුයාමය
කුමරියක පා සළඹ සැලුනා

ගායනය – පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය – කේ.ඩී.කේ. ධර්මවර්ධන
සංගීතය – ආචාර්ය වික්ටර් රත්නායක

02. නිම් හිම් සෙව්වා

ඉර හඳ සේ මා පැතුමන් පැතුවා
සැනසුම් සුයුරේ සසුමන් හෙලුවා
අතරින් පතරේ වියැකීලා
සටනින් අද මා දිනුවා

නිම් හිම් සෙව්වා මා සසරේ
හමු වී යුගයෙන් බැඳි යුගයේ
ලං වී වෙන් වී වරින් වරේ
ඔබ මා රන් හුයකිනි බැඳුණේ

ගායනය – පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය – ඔගස්ටස් විනයාගරත්නම්
සංගීතය – නිමල් මෙන්ඩිස්

01. සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා

කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා ම්…..ම්…..
ඔබේ සිසිලසින්

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වළා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා

ගායනය – පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය – කුලරත්න ආරියවංශ
සංගීතය – ප්‍රේමසිරි කේමදාස

මේ ගීත විතරක් නෙමෙයි අමරදේව මාස්ටර්ගෙ හැම ගීතයක්ම අමරණීයයි. විශේෂයෙන්ම මේ ගීත දොළහ තෝරගත්තෙ මේ ගීතවල තියෙන ආදරණීය බව නිසාමයි. ඇතැම් ගීත අහද්දි ඔබේ ඇසට කඳුළක් ආවොත් පුදුමවෙන්න එපා මේව ඒ තරමටම හදවතට කතාකරන ගීත.
ඉතින් ඒ හඬ නැවතත් සජීවීව අසන්නට ඔබටවත්, මටවත් යළි නොලැබේවි. පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා කියල අපි පණ්ඩිත් අමරදේවයන්ට ප්‍රාර්ථනා කරමු.

මළ ඉර බසිනා සැන්දෑ යාමේ
ඔබගෙන් සමුගන්නම්
අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී
අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී
ඔබගෙන් වෙන්වී මම යන්නම්…

ගී පද කොටස් උපුටාගැනීම ගී අරණ බ්ලොග් අඩවියෙනි.

Leave your vote

0 points

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

Refresh us with your thoughts..