active 1 week, 6 days ago Sanjaya Elvitigala

@sanjaya_elvitigala

-1.

ගෙදර ඉඳන් online සල්ලි හොයන හරි විදි 7ක්

මේ දවස්වල ලංකාවේ වැඩිපුර කතා වෙන දෙයක් තමා online freelancing කියන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට තියෙන මොනයම් හෝ දක්ෂතාවයකින් ඉන්ටනෙට් හරහා සේවාවක් සපයලා මුදල් ලබා ගැනීම. එත් ඉතින් අනික් හැම ක්ෂේත්‍රයක වගේම මේකෙත් වංචා කාරයෝ, බොරු කාරයෝ වැහි වැහැලා. සමහර අයට මතක ඇති 2006 වගේ seagull software කියල කොම්පැනියක් මිනිස්සුන්ගෙන් සල්ලි ගත්තා online රැකියා දෙන්න කියලා. පස්සේ මිලියන ගානකුත් එක්ක ඒ කට්ටිය අතුරුදහන් උනා. ඒකට අහුවෙච්ච ගොඩක් අය අතර මගේ හොඳම යාලුවෙකුත් ඉන්නවා. ඊට පස්සේ ජනප්‍රියම උනේ ad clicking. මොකක්හරි බ්ලොග් site එකක් අටෝගෙන, content ටිකක් copy/paste කරලා එකට Google Adsense දාල ඊට පස්සේ යාළුවන්ට කියනවා ඒවාට click කරන්න කියලා. click එකකට site එක අයිති කෙනාට රුපියල් 2,3 ඉඳලා සමහර මාතෘකා වලට 12-15 හම්බවෙච්ච වෙලාවලුත් තියෙනවා. මේක කොච්චර ප්‍රසිද්ධ උනාද කියනවනම් ඊට පස්සේ වැඩමුළු, සම්මන්ත්‍රණ පවා තියලා clicks දාස් ගණන් එකතු කළා. ඒ උනාට ඒක තනිකරම නරක වැඩක්. මොකද අපි හම්බකරන්නේ ad එක දාන්න සල්ලි වියදම් කරපු මනුස්සයව රවට්ටලා. එයා හිතන් ඉන්නේ එයාගේ ad එකට click කරන්නේ ඇත්තටම එයාගේ ව්‍යාපාරයට කැමති අය කියලා. ඕක දැනගත්ත නිසා Google ට සිදු උනා ක්‍රම රාශියක් මාර්ගයෙන් කවුද ඇත්ත කරන්නේ කවුද බොරු කරන්නේ කියලා හොයා ගන්න. ඊට පස්සේ ගොඩක් දෙනාට ලේසියෙන් අලුත් Adsense account එකක් හදන්න බැරි උනා. සමහර තියෙන ඒවා cancel උනා. ඉතින් ඔය වගේ තුට්ටු දෙකේ වැඩ නොකර නම්බුකාර විදියට Freelancing කරන විදි 07ක් ගැන තමා මේ ලිපියෙන් කතා වෙන්නේ. මේ හැම එකකම හොඳ නරක තියෙනවා. හැම එකකම තමන්ගේ හැකියාවට ගැලපීම් නොගැලපීම් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනි දේ තමයි හැමෝටම එක වගේ සල්ලි හොයන්නවත්, register වෙලා මාසෙකින් check එකක් ගෙන්න ගන්නවත් වෙන්නේ නෑ කියන එක. මේකට ඉවසීම කියන එක අනිවා. ඒ වගේම තමා උත්සාහය අත් නොහැරීම. මම ලිස්ට් එක පටන් ගන්නේ අලුතින් ආපු වැඩිය ප්‍රසිද්ද නැති platforms වලින්. ඊට පස්සේ ඒවගේ ලක්ෂණ, හොඳ නරක සහ සල්ලි ගෙන්න ගන්න විදි ගැනත් කතා කරනවා. ඔක්කොම කතා කරන්න මේ ලිපිය ප්‍රමාණවත් මදි. පුළුවන් තරම් ගොඩ දා ගම්මු.

07. Outsourcely.com

outsorucely Outsourcely කියන්නේ හරියට ජොබ් මාර්කට් එකක් වගේ. සේවාදායකයෝ ඇවිත් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය අනුව ජොබ් එකේ විස්තර සටහන් කරනවා. සේවා සපයන්නෝ විදියට අපි ලියාපදිංචි වෙලා ඒවාට apply කරනවා. මෙතෙන්දි මුලින්ම අපෙන් අහනවා අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. Graphic Design, Web Design, Coding, Data Entry, SEO, Online Research, Personal Secretary වගේ දේවල් සහ Customer Support, letter writing වගේ දේවලුත් මේකේ post වෙනවා. Freelance වලටම වැඩිය full time හරි part time හරි ජොබ් එකක් හොයාගන්න ඕනේ අයට කියාපු platform එක.

විශේෂතා:

  • සාමාන්‍යයෙන් part time ජොබ් එකකට ඩොලර් 300 වගේ ඉඳන් ගෙවනවා.
  • ලියාපදිංචි වෙච්ච වෙලාවේ ඉඳන් චැට් support එකෙන් අපිට ඕනේ ප්‍රශ්නයක් නිරාකරණය කරගන්න පුළුවන් ලේසියෙන්ම.
  • Email වලින් අපේ හැකියාවන්ට ගැලපෙන ජොබ්ස් ගැන alerts දෙනවා. එහෙම නැත්නම් අපිටත් පුළුවන් ජොබ් ලිස්ට් එක manual browse කරලා apply කරන්න.
  • Apply කරනකොට හරියට ජොබ් එක ගැන විස්තර බලලා apply කරන්න. තමන්ව හරියටම මාර්කට් කරගන්න ඕනි. මොකද තවත් application 30ක් වත් එක්ක තරංග කරන්න වෙනවා ඕගොල්ලන්ට.

ගෙවීම්:

  • සේවාදායකයා එයා ගෙවන ගාන දාල තියෙනවා. එහෙම දාල නැත්නම් සුදුසු ගානක් දාන්න. පලවෙනි ජොබ් එකනම් ටිකක් අඩු ගානක් දැම්මට කමක් නෑ. හැබැයි undercut කරන්න යන්න එපා ඕනෙවට වැඩිය. සාමාන්‍යයෙන් data entry වැඩකට පැයකට ඩොලර් 5ක් වගේ ඇති. ඒ අනුව cost කරන්න. Programming වගේනම් වැඩිය ගන්න පුළුවන්.
  • Oursourcely හරහා නෙමෙයි ගෙවීම් වෙන්නේ. ඒක අපි customer එක්ක කතා කර ගන්න ඕනි. බෑන්ක් එකට එවනවද, payoneer ද නැත්නම් skrill ද කියන එක.

06. Iwriter.com

iwriter ගොඩක් හොඳට articles ලියන්න පුලුවන්නම් ඉංග්‍රීසියෙන් මේක තමා හොඳම තැන. හැබැයි standard ලෙවල් ලියන්නෙක් නම් දැනෙන ගානක් හම්බ කරන්න ගොඩක් මහන්සි වෙන්න ඕනි. Elite ලෙවෙල් උනොත් හොඳටම ගෙවනවා. iWriter එකට සේවාදායකයෝ ඇවිත් මොන වගේ ලිපියක්ද උවමනා කියල කියනවා. ඒවගේ වචන ප්‍රමාණය, මාතෘකාව, සමහර මුලාශ්‍ර, keywords සහ tone එක මොකක්ද කියලත් කියනවා. Tone එක කියන්නේ ලිපිය friendly ද නැත්නම් professional විදියට ලියන්න ඕනිද කියන එක. උදාහරණයක් විදියට මේ ලිපිය friendly tone එකෙන් ලියල තියෙන්නේ. ලිපියක් job board එකට වැටුනම අපිට පුළුවන් ඒක ලියන්න ගන්න. අපි ඒක ලියන්න ගත්තම වෙන කෙනෙකුට ලියන්න ගන්න බැරි වෙන්න block වෙනවා. ඉක්මනටම publish වෙන ජොබ්ස් ලබාගන්න ඕනි. නැත්නම් වෙන කෙනෙක් ඒක ලියන්න ගන්න පුළුවන්. හැබැයි තමන් දන්න දෙයක් ලියන්න ගන්න. නොදන්න මාතෘකා ලියන්න ගිහින් rating එක අඩු කරගන්න එපා. මොකද ඕගොල්ලන්ට standard ලෙවල් එකේ ඉඳන් premium ලෙවල් එකට පනින්න ලිපි 30ක් ලියලා ඒවා star rating එකේ 4ක් හෝ ඊට වැඩිය ගන්න ගන්න ඕනි. 4.5 පැන්නුවොත් කෙලින්ම elite ලෙවල් එකට යන්න පුළුවන්. මේ උඩ ලෙවල්ස් වලදී හොඳට ගෙවනවා.

විශේෂතා:

  • ලිපි ලිවීම පමණයි.
  • ඉක්මනට සල්ලි හොයන්න පටන් ගන්න පුළුවන්. ගෙවීම් මුලදී මදි උනත් (වචන 300යේ ලිපියකට ඩොලර් 1.62 වගේ තමා හම්බවෙන්නේ iWriter fees අයින් කලාම) පස්සේ හොඳට හොයන්න පුළුවන්. Elite ලෙවල් එකේදී ඩොලර් 6ක් විතර හම්බවෙනවා වචන 300කට.
  • අපිටත් පුළුවන් සේවාදායකයා rate කරන්න. ඒක හරි වැදගත්.
  • සමහර වෙලාවට අපි හොඳට ලියුවත් සේවාදායකයට පුළුවන් reject කරන්න. ඒකට කරන්න දෙයක් නෑ. කැමතිනම් ආයිත් ලියල දෙන්න පුළුවන් නැත්නම් ඒක අතැරලා වෙන එකක් ලියන්න පුළුවන්. reject උනාම rating වලට බලපෑමක් නෑ .
  • ඔක්කොම ලිපි copyscape ෆිල්ටර් එකකින් යනවා. එක හින්දා copy paste කරන්නනම් එපා. (zero plagiarism)

ගෙවීම්:

  • Paypal හරහා පමණයි දැනට. වෙලාවට ගෙවනවා.

05. Stock images Shutterstock.com

shutterstock මේ අවස්ථාව තියෙන්නේ අපේ රටේ තවත් ජනප්‍රිය විනෝදාංශයක් වගේම අදායම් මාර්ගයක් වන චායාරූපකරණය කරන අයට. Shutterstock කියන්නේ එක site එකක් විතරයි. තව මේ වගේ sites ගොඩක් තියෙනවා. ලංකාවෙත් picture.lk කියල site එකක් තියෙනවා. හැබැයි ඒ site එකේ ඡායාරූප විකුණන්න පුලුවන්ද කියන එක අපැහැදිලියි. කාට හරි පුළුවන් නිවැරදි කරන්න comments වල. ඕගොල්ලන්ට හොඳ හැකියාවක් තියෙනවනම් photography වලට යාළුවෙක්ගෙන් හරි ටිකක් හොඳ මට්ටමේ කැමරාවක් ඉල්ලගෙන අදම පටන් ගන්න. iPhone 5 වලින් පස්සේ version වල කැමරා එකත් හොඳයි මේ වැඩේට. හොඳ නිර්මාණශීලි ඇහැක්, lighting ගැන පොඩි දැනුමක්, color correction , brightness, contrast සහ photo editing වල දැනුම තියෙනවනම් මේක හොඳම විදියක් සල්ලි හොයන්න. ගොඩක්ම ඉල්ලුමක් තියෙන්නේ අපේ රටට, පරිසරයට, සංස්කෘතියට අදාල දේවල් වලට. මොකද සුදු ජාතිකයෝ අතට අත දෙන ෆොටෝ ගහල දැන් වැඩක් නෑ. පුළුවන් තරම් ලංකාවේ වටිනාකම පෙන්වන ඒවා තමා ඕනෙ. තව abstract art කියන්නෙත් සැහෙන ජනප්‍රිය දෙයක්. ඡායාරූප විතරක් නෙමේ. 4ක් video වලටත් සැහෙන ඉල්ලුමක් තියෙනවා. විනාඩි 1-2 පොඩි පොඩි clips තමයි මෙතන කතා වෙන්නේ. උදාහරණයක් විදියට වැවක වතුර හෙල්ලෙන හැටි. මද සුළගේ ගස් යටින් බයිසිකල් පදින ළමයි, කොළඹ රාත්‍රියට පහන් දල්වාගෙන යන වාහන පෝලිම් වගේ ඒවා. හැබැයි photo ගන්නකොට ඒවාට පෙනී ඉන්න අයගෙන්, ස්ථාන වලින් ලිඛිත අවසර ගත් බවට සාක්ෂි තියා ගන්න ඕනි. මේ වෙබ් අඩවි වලින් ඒවා ඉල්ලනවා. ගොඩක් වෙලාවට පුද්ගලයෝ ඉන්නවනම් තමයි ඉල්ලන්නේ. හැම තැනම වගේ ඡායාරූප upload කරද්දී පිළිපදින්න ඕනේ නීති රෙගුලාසි තියෙනවා. ඒවා කියවලා තමා වැඩේට බහින්න ඕනි.

විශේෂතා:

  • ඡායාරූප සහ video clips පමණයි
  • අපේ ඡායාරූප වලට හොඳ ප්‍රචාරයක් ලබා දෙනවා google images හරහා
  • අපේ ඡායාරූප හොරෙන් පාවිච්චි කරන අයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න එකත් ඒගොල්ලෝ කරලා සමහර වෙලාවට දඩත් අය කරලා දීපු අවස්ථා තියෙනවා.
  • ලියාපදිංචි වෙද්දී මුලින්ම අපේ Photos වල තත්වය පරික්ෂා කරලා බලල තමා ඒගොල්ලෝ අපිව ඇතුලට ගන්නේ. පොඩි විභාගයක් වගේ. ඒක සමත් වීම අත්‍යාවශ්‍යයි.
  • ඡායාරූප ගන්න විදිය සහ මොනවද හොඳ ඉල්ලුමක් තියෙන මාතෘකා ගැන වැඩමුළු, ලිපි සහ video ලබා දෙනවා.
  • ලියාපදිංචි වෙද්දී අපේ අනන්‍යතාවය තහවුරු කරන්න ඕනි driving license එකේ හරි NIC එකේ හරි පිටපතක් යවලා.

ගෙවීම්:

  • පටන් ගන්නේ එක Photo එකකට වරකට ඩොලර් සත 25 ඉඳන්. පොඩි ගානක් වගේ තමයි. හැබැයි මේ පින්තූර වල අයිතිය (copyright ) තාමත් තියෙන්නේ ඔයාට. අපි දෙන්නේ වෙන කෙනෙකුට මේ photos පාවිච්චි කරන්න තාවකාලික අවසරයක් විතරයි. (license) ඒ වගේම ඡායාරූපය හොඳනම් ඒක නැවත නැවත ඕනේ තරම් විකිණෙයි.
  • සමහර වෙබ් sites විකිණුම් මුදලෙන් 25%-30% වගෙත් ලබා දෙනවා. Shutterstock සල්ලි එවන්න්නේ Paypal, Skrill වගේම තැපෑලෙන් එන චෙක් පතකින්.
  • Photodune වගේ sites අපිටම අවස්ථාව දෙනවා pricing තීරණය කරන්න. හැබැයි ගිනි ගණන් දාලා sales නෑ කියලා අඩනවා එහෙම නෙවේ ඕන්.
  • මේකෙන් සල්ලි ගෙන්න ගන්න හොඳම විදිය තමා bank transfer පහසුකම. හැබැයි ඩොලර් 500ක් එකතු වෙනකම් ඉන්න වෙනවා.
  • Adobe stock කියන්නෙත් මේ වගේ තවත් සේවාවක්.

04. User testing

usertesting User testing කියන්නේ ඕනෙම භාණ්ඩයක් හෝ සේවාවක් ගැන ඒක අවසානයේ පාවිච්චි කරන කෙනා දරන අදහස කලින්ම විමසා බැලීම. ඔක්කොම මෘදුකාංග, වෙබ් site, mobile apps සහ වෙළඳ දැන්වීම් ඇතුළු සැහෙන දේවල් ප්‍රමාණයක් ගැන end user මොකද හිතන්නේ කියන එක දැන ගන්න පුළුවන් මේ ක්‍රමයට. හැම ව්‍යාපාරයක්ම කල යුතුම එහෙත් අඩුවෙන්ම සිද්ධවෙන දෙයක් තමයි user testing. ඔගොල්ලන්ගෙන් කිසිම තාක්ෂණික දැනුමක් බලාපොරොත්තු වෙන්නේ නැති එක වාසියක්. මොකද ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලන්ගේ අදහස හෝ design එක ගැන සාමාන්‍ය කෙනෙක් දරන අදහස මොකක්ද කියලා විතරයි. user testing කරන්න පුළුවන් sites කීපයක්ම තියෙනවා. ලියාපදිංචි උනාම ඒගොල්ලන්ගේ මෘදුකාංගයක් භාගත කරලා install කරගන්න ඕනි. ඊට පස්සේ ඒක හරහා පළමුවෙනි අදහස් දැක්වීම කරලා upload කරන්න වෙනවා. ඒගොල්ලෝ පෙන්නන ප්‍රශ්න ශබ්ද නගා කියවලා ඒවාට උත්තර දෙන්නත් ඕනි. ඒක බලලා තමා ඕගොල්ලන්ගේ ගිණුම සක්‍රීය කරන්නේ ඉස්සරහට වැඩ කරගෙන යන්න. මේකට හොඳ ඉංග්‍රීසි කතා කීරීමේ හැකියාව වගේම හොඳ ඉන්ටෙර්නෙට් සම්බන්ධතාවයක් අත්‍යවශයි. User testing sites ගොඩක් ලංකාවට සේවා සපයන්නේ නෑ වගේම මෙහෙන් සේවා ලබා ගන්නෙත් නෑ. හැබැයි validately.com කියන්නේ ලංකාවේ අයට ලියාපදිංචි වෙන්න පුළුවන් එකක්. ලියාපදිංචි වෙන form එකේ ලංකාව නැති උනත් India කියල දාල ලියාපදිංචි වෙන්න පුළුවන්.

විශේෂතා:

  • හොඳ ඉංග්‍රීසි දැනුමක් හා ඉන්ටෙර්නෙට් සම්බන්දතාවයක් පමණයි අවශ්‍ය. කිසිම තාක්ෂණික දැනුමක් අවශ්‍ය නැ.
  • ජොබ්ස් email වලින් තමයි alert වෙන්නේ. විනාඩි 5ක් ඇතුලත accept නොකලොත් වෙන කෙනෙක් එක ගන්න ඉඩ තියෙනවා.
  • මේක කාර්යය වෙනත් සේවා ඇතුලේ උනත් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ ගැන පසුවට කියන්නම්.

ගෙවීම්:

  • සාමාන්‍යයෙන් විනාඩි 5-6ක ටෙස්ට් එකකට ඩොලර් 5ක් වගේ ගෙවනවා. PayPal තමා බොහෝ වෙලාවට. හැබැයි Skrill සහ Stripe වගේ ඒවා ඉස්සරහට ඒවි.
  • කෝකටත් මේවගේ ගොඩක් සේවාවන් තියෙන නිසා හැම එකකම register වෙලා බලන්න. මීට වැඩිය විස්තර ඕගොල්ලන් හොයාගත්තොත් comment කරන්න අමතක කරන්න එපා.

03. E-Tutoring - Udemy

udemy උගන්නන්න කැමතිද? udemy වගේ platforms වලින් online ඕගොල්ලන්ට කැමති විෂයක් උගන්නන්න පුළුවන්. මේකේ උගන්නන්න සුදුසුකම් පෙන්නන්න ඕනි නෑ. ඔයාට හොඳටම පුළුවන් මොනවද ඒක උගන්නන්න. students ල කැමතිනම් එච්චරයි. මේකත් දුවන්නේ ratings උඩ තමා. පාඨමාලාවක් අඩුම තරමේ පැයක් වත් දිග වෙන්න ඕනි. එකෙන් 60% video වශයෙන් තියෙන්නත් ඕනි. තව udemy එකෙන්ම free course එකක් තියෙනවා How to be an instructor කියලා. මුලින්ම student කෙනෙක් හැටියට ලියාපදිංචි වෙලා ඒක කරලා ඉන්න. ඔබට හොඳට උගන්නන්න පුලුවන්නම් මේක ඉතාම හොඳ ක්‍රමයක්. Udemy සාමාජික ශිෂ්‍ය සංඛ්‍යාව මිලියන 10කට අධිකයි. අපේ පාඨමාලාව අපිටම price කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඩොලර් 5හේ ගුණාකාර වලින් තමා price වෙන්නේ. සමහර පාඨමාලා ඩොලර් 200ටත් තියෙනවා. අපිට ඕනිනම් අපේ පාඨමාලාව 50% OFF නැතනම් 90% OFF වගේ ප්‍රවර්ධනය කරන්නත් udemy උදවු කරනවා. අපේ පාඨමාලාවකට එන student කෙනෙකුට මුළු content එකම පෙන්නනවා. කාලෙන් කාලෙට පාඨමාලාව යාවත්කාලීන කරන්නත් අමතක කරන්න එපා. තව students අහන ප්‍රශ්න වලට forum එකේ උත්තර දෙන්න ඉක්මනටම. ඒවගින් ratings වැඩි වෙනවා. guru-internet-jobs ලංකාවේ guru.lk කියන්නෙත් udemy වගේ platform එකක්. හැබැයි සුදුසුකම් අනිවාර්යයි. Guru.lk එකේ තියෙන online money making පාඨමාලාවෙන් මේ ලිපියේ කතා කරන දේවල් video tutorials වලින්ම පෙන්නලා තියෙනවා.

විශේෂතා:

  • Udemy වලට අධ්‍යාපන සුදුසුකම් වැදගත් නෑ. උගන්නන පුළුවන් මොනවද ඒක හරියට කියලා දෙන්න power-point, video සහ documents මාර්ගයෙන්.
  • විභාග පවත්වන්නත් හැකියාව ලබා දීල තියෙනවා. හැබැයි පාඨමාලාවක් දාන එක දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හොඳට ඒගොල්ලන්ගේ guidelines follow කරලා තමයි කරන්න ඕනි. ඕනේ දෙයක් උගන්නන්න අවස්ථාව තියෙනවා.

ගෙවීම්:

  • දැනටනම් Paypal වලින් විතරයි.Course එකේ price එකෙන් 50% අපිට ලැබෙන්නේ. Marketing කරන ඒවා ඔක්කොම udemy කරනවා.

02. Envato

envato ලංකාවේ වැඩි දෙනෙක් නොදන්න ඒත් දන්න ටික දෙනා හොඳට හොයන platform එකක් තමයි මේ. Envato කියන්නේ වෙළඳපොළක්. එකෙ එක එක විදියේ platforms වල එකතුවක් තියෙනවා. මගේ හිතවතෙක් සති හතරක් එක දිගට මහන්සි වෙලා වැඩ කරලා අවුරුදු 3ක් ඇතුලත ඩොලර් 50,000+ වැඩිය හෙව්වා. ඕව ඔයා ඒක කියෙව්වා හරි. ඩොලර් පනස්දාහක්. ඕගොල්ලන්ට තියෙන IT related දක්ෂතා, photography සහ music හැකියාවන් මෙහිදී ප්‍රයෝජනවත් වෙනවා. Envato එකේ themeforest, codecanyon, videohive, audiojungle, graphicriver, photodune සහ 3docean කියලා වෙන වෙනම වෙළදපොළවල් තියෙනවා. Author කෙනෙක් හැටියට එකක register උනාම අනික් ඕනි එකකට access හම්බවෙනවා. themeforest කියන්නේ ඕගොල්ලන්ට හොඳ නිර්මාණශීලී විදියට සහ standard විදියට වෙබ් site template හදල විකුනන්න පුළුවන් තැනක්. WordPress, Drupal, Jooma, Magento, Opencart වගේ එකී මෙකී නොකී platform ගණනාවකට template මෙතන අලෙවි වෙනවා.හැබැයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන තත්වයට template එකක් හදනවා කියන්නේ හරිම ආමාරු වැඩක්. සුපිරි වැඩකාරයෙක් වෙන්න ඕනි එක පාරින් template එකක් approve වෙන්න. කොමත් අපිටත් 3-4 පාරක් වැරදි හද හද resubmit කරන්න උනා වැඩේ ගොඩ දාගන්න. Approval process එක ගැන මෙතනින් සහ මේ ලින්ක් එකෙන්  කියවන්න. මේ ටිකම තමා අනික් envato platforms ගැනත් කියන්න තියෙන්නේ. කොහොම උනත් after sales service එකයි item එකේ තත්වයයි හොඳ නැත්නම් මෙතන අනාගතයක් නෑ. Codecanyon කියන්නේ progammers ලගේ වැඩ පෙන්නන්න තියෙන තැන. ඕනෙම පරිගණක භාෂාවකින් ලියපු software එකක්, plugin එකක් හෝ script එකක් අනික් අයට වැඩක් වෙයි කියලා හිතෙනවනම් මේකේ list කරන්න. හැබැයි වැඩ කරන demo එකක් දාන්නත් අමතක කරන්න එපා. තව පටන් ගනිද්දී අතින් ගෙවලා හරි වෙන account එකකින් 4/5 star rating එකක් දාගන්න. Videohive කියන්නේ video editing කට්ටියට හදපු වෙළඳපොල. මේකේ after-effects, vegas වගේ මෘදුකාංග වලට plugins,lover-thirds, clips, effects, සහ templates හදලා විකුනන්න පුළුවන්. AudioJungle කියන්නේ මියුසික් ට්‍රැක්, jingles සහ sound effects හදන්න පුළුවන් අයට ඒගොල්ලන්ගේ නිර්මාණ විකුනන්න පුළුවන් තැන. Graphicriver ගොඩක්ම photoshop, illustrator වගේ ඒවා භාවිත කරලා හදන ඕනිම දෙයක් ගන්න තියෙන තැන. Business cards ඉඳන් presentation දක්වා ඕනි එකක්. හැබැයි ඉතින් තමන්ගේම original නිර්මාණ වෙන්න ඕනි. ඒ වගේම තමා quality එක. ඒ තත්වයට හදන්න බැරි නම් වෙලාව නාස්ති කරන්න එපා. පුරුදු වෙලා එන්න. Photodune ගැන අපි උඩත් කතා කළා. පින්තූර විකුණන්න පුළුවන් මෙතනින්. 3Dcoean කියන්නේ Maya/StudioMax වගේ ඒවාට textures, models හදල දාන්න පුළුවන් තැනක්.

විශේෂතා:

  • විවිධ අංශ වලට අයත් අයට කෙලින්ම ඒගොල්ලන්ගේ items විකුණන්න පුළුවන්.
  • අලුතෙන් එන කෙනෙකුට උනත් වැඩ හොඳනම් සල්ලි හොයන්න සමාන අවස්ථාව තියෙනවා.
  • කාලෙන් කාලෙට තරග තියලා සැලකිය යුතු මුදල් ත්‍යාග ලබා දෙනවා.
  • සෑහෙන support community එකක් ඉන්නවා.
  • දැනට ඕගොල්ලෝ සේවාදායකයන්ට කරන projects පොඩ්ඩක් වෙනස් කරලා මේකට දාන්න.
  • Review process එක ලේසි නෑ.

ගෙවීම්:

  • අපේ item එකේ price එකෙන් 50% හම්බවෙන්නේ. අපේ රෑන්ක් එක වැඩි වෙන්න වෙන්න ලැබෙන cut එකත් වැඩි.
  • Bank transfer, Skrill, Payoneer සහ Paypal වගේ ගොඩක් විදි තියෙනවා සල්ලි ගෙන්න ගන්න. මමනම් නිර්දේශ කරන්නේ Bank transfer ක්‍රමය. හැබැයි ඩොලර් 500ක් පිරෙනකම් ඉන්න ඕනි.
  • Author කෙනෙක් විදියට ලියාපදිංචි වෙන්න forms ගොඩක් පුවරන්න තියෙනවා.
  • අපේ නිරීක්ෂණ වල හැටියට envato තමා මේ ඔක්කොගෙන්ම වැඩිම මුදල් ඉපයීමේ හැකියාවක් තියෙන platform එක. හැබැයි quality එක, support එක සහ නිර්මාණශීලීත්වය සෑහෙන වැදගත්.

01. Fiverr.com

fiverr අවිවාදයෙන් තොරව ලංකාවේ වැඩිම දෙනක් භාවිතා කරන platform එක. Alexa ranking වල 32වෙනි තැන ලංකාවේ. මේකේ සාමාන්‍යයෙන් වැඩකට ගෙවන්නේ ඩොලර් 5යි. ඒ හින්දා පැයක් ඇතුලත කරන්න පුළුවන් වැඩක් තමා ලිස්ට් කරන්න ඕනි ලාබයක් ගන්න නම්. හැබැයි සේවාදායකයා කැමතිනම් හෝ package එකක් විදියට දුන්නොත් ඕනේ තරම් හොයන්න පුළුවන් (Fiverr දීල තියෙනවා package හදන්න පහසුකම්). සීමාවක් නෑ. review process එකක් ඇත්තෙම නැති තරම්. හැබැයි rating system එක ප්‍රබලයි. rating අනුව තමා තීරණය වෙන්නේ කොච්චර දුරට අපි search result වල පේනවද, සේවාදායකයන්ට අපිව නිර්දේශ වෙනවද කියන එක. ඒක හින්ද මුල් කාලේ කොන්ද කඩාගෙන වැඩ කරන්න වෙනවා හොඳ rating ටිකක් ගන්න. Fiverr ප්‍රමුඛත්වය දෙන්නේ buyer ට (සේවාදායකයට). Complain යන්නේ නැතුව වැඩේ ගොඩින් බේරගන්න බලන්න. එක ජොබ් එකකින් නැතිවෙන එක වෙන ජොබ් එකකින් අල්ලන්න පුළුවන්. Top rated seller කෙනෙක් උනොත් රැකියාවෙන් අයින් වෙලා සම්පූර්ණ කාලය fiverr වලට යොදන්න. පාඩුවක් වෙන්නේ නෑ. මේකේ ඕනෙම දෙයක් කරන්න පුළුවන්. data entry වල ඉඳන් පොල් ගහකට නැගල පොල් ගෙඩියක් කඩන එක දක්වා සියලුම දේ. විශ්වාස නැද්ද? මේක බලන්න. හඳහන් බැලීම, අවවාද දීම, ගණකාධිකරණය, නීති උපදෙස් වල ඉඳන් වෙබ් නිර්මාණකරණය, ලිපි ලිවීම, අලෙවිකරණය, user testing, සින්දු කීම වගේ ඕනෙම එකකින් සල්ලි හොයන්න පුළුවන්. හැබැයි ඉවසීම සැහෙන වැදගත්. ලියාපදිංචි වෙලා ගිග් එකක් දැම්ම පමණින් ජොබ්ස් එන්නේනෑ. සමහර වෙලාවට පලවෙනි ජොබ් එක එන්න මාස 3ක් වගෙත් යනවා. Rating වැඩි උනාම කරගන්න බැරි තරම් එනවා.

විශේෂතා:

  • පොඩි පොඩි වැඩ කරලා සල්ලි හොයන්න පුළුවන්
  • හැමවිටම සේවාදායකයා හරි කියන තැන ඉඳන් වැඩ කරන්න.
  • අපි වෙනුවෙන් Fiverr marketing කරලා දෙනවා.
  • ලොකු ඉංග්‍රීසි දැනුමක් ඕනි නෑ.
  • තරගකාරීත්වය සැහෙන වැඩි. Indians ල ගොඩක් ඉතා අඩු මුදලට ලොකු දේවල් කරලා දෙනවා.
  • තමන්ටම අවේණික වූ දේවල් කරන්න.
  • හරියට ගිග් පිටුවේ විස්තර ටික දාන්න හිත ඇදිල යන විදියට.
  • අපි මේ ලිපියේ කියපු/නොකියපු අනික් platforms වලින් එන ජොබ්ස් fiverr එකට දාල අතරමැදියෙක් විදියට වැඩ කරන්නත් පුළුවන් කැමතිනම්.

ගෙවීම්:

  • Fiverr 25%ක් තියා ගන්නවා ඒගොල්ලන්ගේ ගාස්තු විදියට.
  • Skrill, Bank transfer, Payoneer සහ Paypal වලින් මුදල් ගෙන්වාගන්න පුළුවන්.
  • පොඩි ගානක් උනත් ගෙන්න ගන්න පුළුවන්. හැබැයි සල්ලි එවන්නත් පොඩි ගානක් කපා ගන්නවා. ඩොලර් 1-5 දක්වා වගේ.
තවත් මම නොකියපු platforms සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒවා ගැනත් ඉදිරියේදී ලියන්නම් ප්‍රතිචාර බලලා. පිළිගත් සමීක්ෂණයකින් (ICTA) හෙළිවෙලා තියෙනවා ලංකාවේ online freelancing කරන අය 22,000+ ඉන්නවා කියලා. ඒගොල්ලන්ගෙන් අවුරුද්දකට විදේශ විනිමය ඇමෙරිකානු ඩොලර් මිලියන 14ක් වගේ ගේනවා. අපිට මේ ගාන සෑහෙන වැඩි කරගන්න පුළුවන් හරියට අපේ කට්ටිය දැනුවත් කරලා මග පෙන්නුවානම්. මොකද ලංකාවේ මොන වැරදි තිබුනත් අපේ මිනිස්සුන්ගේ තියෙන නිර්මාණශීලීත්වය ලෝකේ කාටවත් දෙවෙනි නෑ. ඒ සඳහා ගත්ත සුළු වෑයමක් මේ ලිපිය. Share කරලා දැනුවත් කරන්න යාලුවන්ව.

ඉදිරි ලිපි වලින් මේ හා සම්බන්ධ විවිද දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ලැබෙන ප්‍රතිචාර අනුව තමා.

by