වැස්සත් එක්ක ජීවිතේ විඳින්න… මෙන්න මෙහෙම

Are you a Pluviophile? (Lovers of rain)

“හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමින අන් දිනකට වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්”

වැස්ස… වැස්සත් වෙලාවකට පුදුම කරදරයක්. වැස්ස හින්ද කොයි තරම් වැඩ ඇනහිටිනවද. කලින් සකස් කරගත්ත සැලසුම් අතරමග නතර කරන්න වෙනවද. වැහැල වැහැල ගංවතුරක් ආවම ජීවිත කීයක්නම් අවතැන් වෙනවද. ඇත්ත…

ඒත් එහෙමයි කියල අපි වැස්සට සාප කරනවද? නැහැ. මොකද වැස්ස මිනිස්සුන්ගෙ ජීවිතවලට බද්ද වෙලා තියෙන්නෙ ඒ තරමටම. හැමදේකම නරක පැත්ත දකින්නෙ නැතුව සුන්දර පැත්ත ගැනත් හිතල බැලුවොත් නරකද?

ගෙදර ඉන්න නිවාඩු දවසටත් හෝ ගාල වහින්න ගත්තම මොකද කරන්නෙ. හොඳට පොරවගෙන නිදාගන්නව. එහෙමද? ඔව් ඉතින් ඒකෙත් පොඩි ගතියක් නැතුවම නෙමෙයි. හැබැයි එහෙම දවසක් ආවම ඒ දවසත් සුන්දර විදිහට ගෙවාගන්න තව ක්‍රම ඕනෙ තරම් තියෙනව. දැන් මෙහෙම කියපු ගමන් සමහරුන්ට පුංචි කාලෙ මතක් වෙයි, තමන්ගෙ ගම මතක් වෙයි. කෙසෙල් කොට පාරු පදින, ඇලේ බැහැල දණ්ඩි පැටව් අල්ලන, කඩදාසි බෝට්ටු පා කරන සිද්දි දාමයක් ඔළුවට එයි. ඒත් අද තියෙන සමාජය තුළ මේ දේවල් කොයිතරම් දුරට කරන්න පුලුවන්ද. අතීත සුන්දරත්වය මතකයන් පමණක් වෙලා එහෙමත් නැත්නම් සාහිත්‍යයට පමණක් සීමා වෙලා. මේ තියෙන නාගරික පරිසරය තුළ ගංවතුරෙ පාරු පදින්න ගියොත් පහුවදාට ඉන්න වෙන්නෙ ජාතික රෝහලේ.

ඒ කියන්නෙ වර්තමාන සමාජයට මේ සුන්දරත්වය විඳින්න විදියක් ඇත්තෙම නැද්ද? ඇයි නැත්තෙ. පැරණි දේවල් සාහිත්‍යයට පමණක් සීමා වෙද්දි, ඉතිහාසයට එකතුවෙද්දි මිනිස්සු අළුත් විදියට ජීවිතේ විඳින්න උත්සහ කරනව. ඉස්සර මෙහෙමයි, ඒ කාලෙ තමයි පට්ට, දැන් කොහෙද ඒව කියල නහයෙන් අඬනවට වඩා ඉතුරුවෙලා තියෙන දේවල්වල ලස්සන විඳගන්න ඇයි අපිට බැරි.
වැස්ස වෙලාවට පාර මඩ වෙන එක ගැනයි, ඇඳුමෙ මඩ ගෑවෙන එකයි ගැනම නොසිත මේ දේවල් ගැනත් හිතල බලන්න.

01. පුංචි උන් ටිකත් එක්ක කාලය ගතකරන්න ස්වර්ණමය අවස්ථාවක්.

Image Credit: inexpensively.com
Image Credit: inexpensively.com

මතකද පොඩි කාලෙ අයියල, අක්කල, නංගිල, මල්ලිල පරම්පරාවම ආච්චිව වටකරගෙන කතන්දර අහපු කාලෙ. ඒ දවස්වල පවුල් සංස්ථාව දැන් වගේ නෙමෙයි. හැමෝම එකට. ඉතින් ගෙවල්වල පොඩි එවුන් පිරිල. ඒත් දැන් මිනිස්සුන්ගෙ ජීවිත සංකීර්ණ වෙලා. ආච්චි අම්ම ගමේ ඉද්දි මුණුපුරා කොළඹ තට්ටු නිවාසෙක තනිවෙලා. කාර්යබහුල ජීවන රටාවත් එක්ක තමන්ගෙ දරුව එක්කවත් කාලය ගතකරන්න තියෙන ඉඩ අවම වෙලා ඇති. ඉතින් ඒ දරුවොත් එක්ක සෙල්ලම් කරන්න, කතාවක් කියල දෙන්න, තමන්ගෙ පුංචි කාලෙට ආපහු යන්න මේක හොඳ අවස්ථාවක් නෙමෙයිද?

02. යාළුවොත් එක්ක චැට් එකක් දාන්න.

Image Credit: gopixdatabase.com
Image Credit: gopixdatabase.com

පිස්සු කතා කරනවද? හොඳටම වහිද්දි එළියටවත් බහින්නෙ නැතුව මොන චැට්ද. ඔව් එහෙම හිතෙයි. ඒත් වහින වෙලාවට වෙන කරන්න වැඩකුත් නැත්නම් ළඟම ඉන්න බොක්කෙ ෆිට් යාළුවො ටික අමාරුවෙන් හරි එකතු කරගෙන කාගෙහරි ගෙදරකට සෙට් වෙන එකේ තියෙන්නෙත් අමුතු රහක්. පරණ රස කතා, මතක සටහන්, වගේම අලුත් රසකතා දිග ඇරෙන්නෙත් ඒව අනාගතේ දවසක් වෙනුවෙන් තවත් සුන්දර මතකයන් විදියට ඉතිරිවෙන්නෙත් ඔබටත් නොදැනීමයි.

03. උයන්න.

cooking while rain

ඔබ ගෘහණියක්නම් මේක හරිම සාමාන්‍ය දෙයක් වගේ දැනෙයි. අහන්නත් දෙයක්ද ඉතින් හැමදාම කරන්නෙ උයන එකනෙ. එහෙනම් එදාට ඒ සාමාන්‍ය දේ වෙනසක් කරමු. “හැමදා නියං එක දා වැහි වලාවේ” කියල හැමදාම හදන හොද්දයි බතයි වෙනුවට අලුත් දෙයක් කරල බලන්න. එතකොට ඔබ පුරුෂ පක්ෂයට අයත්නම් මෙන්න හොඳ අවස්ථාවක් තියෙනව තමන්ගෙ බිරිඳට එහෙමත් නැත්නම් මවට නිවාඩුවක් දෙන්න. උයන්න බැරිමනම් අඩුම තරමෙ ඒ අයට හොඳ සහයෝගයක්වත් දෙන්න. ඇත්තටම ඉඳල හිටල උයන එක හරිම රසවත් වැඩක්.

04. සිනමා නිර්මාණයක් රස විඳින්න.

couple watching a movie

තරඟකාරී ලෝකයත් එක්ක හැල්මෙ දුවන ගමනෙදි ඔබට බොහෝ දේ මගහැරෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. ඇතැම්විට ඔබේ විනෝදාංශයන් පවා ඔබට අමතකව ගොස් තිබෙන්නට පුලුවන්. වර්තමාන ජීවන රටාවත් එක්ක සිනමා නිර්මාණයක් රස විඳින්න පැය දෙකක් වෙන් කරගන්න එකත් දුෂ්කරයි. මෙන්න තියෙනව හොඳ අවස්ථාවක් නිවසේ සිටම සිනමා නිර්මාණයක් නරඹන්න. ඔබේ රසවින්දනයට ගැලපෙන ඔබට මගහැරුණු සිනමාපට ගොන්නෙන් එකක් වෙනුවෙන් හෝරා දෙකක් ගත කරල මනස සැහැල්ලු කරගන්න.

05. පොතක් කියවන්න.

Image Credit: weheartit.com
Image Credit: weheartit.com

හොඳටම වහින වෙලාවක උණු උණු කෝපි කෝප්පයක් බොන ගමන් ආලින්දයට වෙලා හොඳ පොතක් කියවන එක තරම් රසවත් වැඩක් පොත් ගුල්ලෙකුටනම් තවත් නැහැ. කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියල කිව්වට හුඟක් අයට දැන් සම්පූර්ණ වෙන්න වෙලාවක් නෑ. කොළඹ ජත්‍යන්තර පොත් ප්‍රදර්ශනේට එහෙම ගිහිල්ල දහස් ගණන් වියදම් කරගෙන අතින් කටින් එල්ලගෙන ආපු පොත් ටික තවම මේසෙ උඩ හරි, කබඩ් එකේ හරි පල් වෙනවද? එහෙනම් යන්න ආලින්දයට. වැස්සත් තියෙනව, පොතුත් තියෙනව, කෝපි? නැතිවෙන්නනම් විදියක් නැහැ. ඉතින් තව වෙන මොනවද රවිඳිනව මිසක්.

06. මගහැරුණු හැකියාවන්ට යළි පන දෙන්න.

writing a note

කියවීම මිනිසා සම්පූර්ණ කරයිනම් ලිවීම මිනිසා සර්ව සම්පූර්ණ කරයි කියනවනෙ. මොහොතක් කල්පනා කරල බලන්න ඔබටත් එවැනි හැකියාවන් තිබුනද කියල. කවි ලියන්න, සින්දු ලියන්න වගේම කියන්න, සාහිත්‍යය විචාර ලියන්න විතරක් නෙමෙයි නිර්මාණශීලී ප්‍රබන්ධකරණයටත් ඔබ දක්ෂයෙක් වූ කාලයක් තියෙන්න ඇති. ඒ විතරක්ද? ඔබට චිත්‍ර ඇඳීමේ සහජ හැකියාවක් ඇති අයෙක් වෙන්නත් පුලුවන්. නමුත් කාර්යබහුලවීමත් සමඟ ඔබේ හැකියාව සැඟවෙලා ගිහින් ඇති. ඔබේ එවන් හැකියාවන්ට යළි පන දෙන්න හොඳ වෙලාවක් තමයි වැස්ස.

07. වැස්සෙ ඇවිදින්න.

Image Credit: Singin' in the Rain
Image Credit: Singin’ in the Rain

ලෙඩ හදාගන්න පොටක් තමයි. අම්මගෙන් බැණුම් අහගත්තැහැකි හොඳට. ඒ ඉතින් අම්මලගෙ හැටි. ඒත් කුඩේකුත් ඉහලගෙන වැස්සෙ ඇවිදින එකෙත් පොඩි රහක් තියෙනව. ගමේ ඉන්නකොටනම් කුඹුර දිහා බලාගෙන ඉන්න, වක්කඩේ වතුර ගලන හැටි, ඇල උතුරල යන හැටි බලන් ඉන්න, ගේ වහලෙට වතුර වැටෙද්දි ඇහෙන සද්දෙ අහන් ඉන්න ලස්සනයි. ඒත් මේ දේවල් නගරෙට උරුම නෑ. වහින වෙලාවට නගරෙ තියෙන්න ලස්සනට වඩා අවලස්සන. නමුත් හොඳට බැලුවොත් නාගරික පරිසරයට උරුමවුනු ලස්සනකුත් ඔබට දකින්න ලැබෙයි. වැස්ස වැටෙද්දි මිනිස්සු දිහා බලන් ඉන්න. හුදකලා වෙන්න වැස්සත් එක්ක. ඔබ ජීවත්වන පරිසරයත් හිතපු තරම් නරක නෑ කියල ඔබටම පෙනේවි.

වහින වෙලාවට නිදාගන්නව ඇරෙන්න තව කරන්න දේවල් ඕනතරම් තියෙනව. ඒ දේවල් පුද්ගලානුබද්ධයි. එකිනෙකාට ආවේනිකයි. ඒ වගේම මේ ලිපියෙ මූලික අරමුණ වැස්ස ගැන කියන එකම නෙවෙයි. ඇත්තටම අවශ්‍යතාවය තිබුනෙ ඔබට මගහැරුණු ජීවිතය පිළිබඳව පුංචි මතක් කිරීමක් කරන්නයි. ඒ වගේම මේ දේවල් වැස්සට විතරක් සීමා විය යුතු නැහැ. මොකද වැස්ස හැමදාම නැහැ නමුත් ඔබේ ජීවිතය දිගටම ගලාගෙන යනව.

ජීවත්වෙන්න… ආදරය කරන්න… සිනහවෙන්න…

Cover Image: Eduardo Ielen

Leave your vote

0 points

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

Refresh us with your thoughts..