කළු උනාට දොදොල් රසයි. කතරගමට උරුම වූ ව්‍යාපාර

Roadside shopping; A must do in kataragama

කතරගම කිව්ව ගමන් මොනවද මතක් වෙන්නෙ? වෙන මොනවද ඉතින් කතරගම දෙවියොයි, දේවාලෙයි තමා.

ඔව් හුඟක් අයට මතක් වෙන්නෙ ඔය දේවල් තමයි. දීර්ඝ ඉතිහාසයක් තියෙන කතරගම දේවාලය වන්දනා කරන්න ලංකාවෙ විවිධ ප්‍රදේශවලින් වාර්ෂිකව ඉතා විශාල ජනතාවක් පැමිණෙනව. මිනිස්සුන්ගෙ හිත්වල තියෙන විශ්වාසයන් කොයිතරම් තදින් ඔවුන්ගෙ ජීවිතවලට බලපානවද කියන එක බලාගන්න පුලුවන් හොඳම තැනක් තමයි කතරගම. රටේ නායකයගෙ ඉඳල යාචකය දක්වා වූ හැම තරාතිරමකම මිනිස්සු මෙතෙන්ට එන්නෙ දෙවියන් පිළිබඳව ඇති විශ්වාසය එහෙමත් නැත්නම් බය නිසා.

හැබැයි තවත් පිරිසක් ඉන්නව විවිධ සංස්කෘතීන් දැකගන්න, විවිධ සමාජ පද්ධති අධ්‍යනය කරන්න, ඇවිදින්න, කතරගම වටා ගොඩනැගිල තියෙන වෙනත් ස්ථාන හා පරිසර පද්ධතීන් දැකබලාගන්න තියෙන අවශ්‍යතාවය නිසා මේ ප්‍රදේශයට පැමිණෙන අය. මෙන්න මේ දෙපිරිසම නිසා කතරගම නගරය ඉතාම ජනාකීර්ණ ස්ථානයක් බවට පත්වෙලා. මෙම ජනතාව නිසාම ගොඩනැගුණු ව්‍යාපාර පද්ධතියකුත් කතරගම තියෙනව. මෙන්න මේ වගේ ව්‍යාපාර කිහිපයක් ගැන තමයි මේ කතාව.

01. කතරගම ආප්ප.

Image: eatsandretreats.com
Image: eatsandretreats.com

ඔය ලොකු ලොකු හෝටල්වල තියෙනව වගේ නෙමෙයි කතරගම ආප්ප. මුලදි මුලදි සුළුවෙන් එක්කෙනෙක් දෙන්නෙක් කරපු මේ ව්‍යාපාරයට අද වෙද්දි සෑහෙන පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නව. දැන් ඒ වෙනුවෙන්ම වෙන්වුනු කඩ පේළියකුත් කතරගම නගරය ඇතුලෙ දකින්න පුලුවන්. මේ හරියෙන් ඇවිදගෙන යද්දි “එන්න මහත්තය ආප්පයක් කාල තේ එකක් බීල යන්න” කියල කරන සුහද ආමන්ත්‍රණනම් ඉවරයක් නෑ. ඉතින් ඒ වෙලාවට උණුවෙන් ආප්පයක් කාල යන්නෙ බඩගින්නටමත් නෙමෙයි. ඒකෙත් පොඩි ගතියක් තියෙනව.

Image: steppingoutofbabylon.wordpress.com
Image: steppingoutofbabylon.wordpress.com

02. අපෙනුත් මල් ගන්න.

Image: Chandra Dissanayake
Image : Chandra Dissanayake

“කිරිවෙහෙරට යන පාරේ මල් විකුණන මගෙ සීදේවී” කියල සින්දුත් ලියවුනේ නිකන් නෙමෙයිනෙ. මේ කට්ටියනම් ඒ තරමට ජනප්‍රියයි. කතරගම දේවාල භූමියෙ ඉඳල කිරිවෙහෙරට එන වැලි අතුරපු පාරෙ කිරිවෙහෙර ආසන්නයට එද්දි දකින්න තියෙන සුන්දර දර්ශනයක් තමයි මේ නෙළුම් මල් විකුණන අක්කල, නංගිල ටික. පිරිමි පාර්ශවයත් නැතුවම නෙමෙයි. හැබැයි සාපේක්ෂව අඩුයි. අනේ අපෙනුත් මල් ගන්න කියල ඇදල කියන විදියට කාටද මල් ගන්න හිතෙන්නෙ නැත්තෙ;

Image: senlsd1301.wordpress.com
Image: senlsd1301.wordpress.com

03. කළු උනාට දොදොල් රසයි.

Image: backpackerlee.wordpress.com
Image: backpackerlee.wordpress.com

කතරගම ගිහිල්ලත් කළු දොදොල් කෑල්ලක් ගෙනාවෙ නැත්නම් වැඩක් තියෙනවද? කතරගම විතරක් නෙමෙයි අම්බලන්තොට, හම්බන්තොට ඉඳල කතරගම, සෙල්ල කතරගම දක්වාම කළු දොදොල් ප්‍රසිද්ධයි. කතරගම නගරයෙ මොන අස්සකට ගියත් දොදොල් වෙළෙන්දෙක්වනම් හම්බෙනවම තමයි. ඉතින් මේ කඩවලට ගියහම රස බලන්න පොඩි පොඩි දොදොල් කෑලිත් හම්බෙන එක වරදින්නෙ නෑ. ඔය විදිහට සේරම කඩවලින් රස බලන අපේ අයියලත් නැතුවම නෙමෙයි.

Image: sundayobserver.lk
Image: sundayobserver.lk

04. මහත්තය කාමරයක් බලමුද?

Image: lankaholidays.com
Image: lankaholidays.com

කතරගම නගරයට ඇතුල්වුනු වෙලාවෙ ඉඳලම ඇහෙන වචන පේළියක් තමයි ඔය තියෙන්නෙ. ඒ වගේම තමයි යන යන හැමතැනම දකින්න තියෙන දෙයක් තමයි “කාමර ඇත” කියල ගහපු බෝඩ්. වාර්ෂිකව පැමිණෙන විශාල ජනතාවකට ඇති තරම් නවාතැන් පහසුකම් හොයාගන්න එක ලේසි කෙළියක් නෙමෙයි. මේ හින්දම මේ ප්‍රදේශයේ ජනතාවට ඉතාම ලාභදායී ව්‍යාපාරයකට පදනම සකස්වුනා. මුල් කාලයෙ විශ්‍රාම ශාලා කිහිපයකටත්, නිවාසවල කාමර කුළියට දීමටත් සීමා වෙලා තිබුනට අද වෙද්දි තරු පන්තියේ හෝටල්, නිවාඩු නිකේතන දක්වාම මේ ව්‍යාපාරය දියුණුවෙලා.

Image: vistarooms.lk
Image: vistarooms.lk

05. බස් එකෙන් සෆාරියක් යන්න බෑනෙ මහත්තය.

Image: lanka.com
Image: lanka.com

සෆාරි කියන්නෙ කතරගමට අලුත් දෙයක් නෙමෙයි. මොකද කතරගම පිහිටල තියෙන පරිසරය සෆාරිවලට හොඳට ගැලපෙනව. යාල ජාතික වනෝද්‍යානය අල්ලපු වැටේ. එතකොට සිතුල්පහුව රජමහා විහාරය හා ඒ ආශ්‍රිත වන ගහණය. තවත් ඕනෙනම් බූන්දල ජාතික වනෝද්‍යානයත් වැඩි දුරක් නෑ. ඉතින් කිව්වත් වගේ මේ තැන්වල හරියට සංචාරය කරන්න බස් එකේ ගිහින් බෑනෙ. මුල් කාලෙදි විදේශීය සංචාරකයන් අතර ජනප්‍රියවුනු මේ සෆාරි අද වෙද්දිනම් දේශීය විදේශීය කියල වෙනසක් නෑ. ඒ වගේම තමයි සෆාරි ජීප් රථ සංඛ්‍යාවත් සීඝ්‍රයෙන් වැඩිවෙලා තියෙනව.

Image: lanka.com
Image: lanka.com

අපි මේ සඳහන් කළේ කතරගම ජනප්‍රියම හා එහි ජනතාවගේ ජීවිතවල කොටසක් වූ ව්‍යාපාර කිහිපයක් ගැන පමණයි. මේ ඇර තවත් ව්‍යාපාර විශාල ප්‍රමාණයක් කතරගම පූජා නගරය කේන්ද්‍ර කරගෙනත් ඒ අවටත් ක්‍රියාත්මක වෙනව.

Leave your vote

0 points

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

Refresh us with your thoughts..