web analytics

මොනවද මේ පට්ඨිකා (Platelets)..? ඔයත් රුධිර පට්ඨිකා ප්‍රදානය කිරීමට කැමතිද? ඒවා කොහොමද දෙන්නෙ?


මේ පෝස්ට් එක දාන්න ගොඩක් කල් හිතුවට වෙලාව හම්බුනෙ නෑ. ඒත් ගොඩාක් අය මේ ගැන මගෙන් අහන නිසාත්, අද සිදුවුනු සිදුවීමකුත් නිසා, අදනම් මේ ගැන පෝස්ට් එකක් කොහොමහරි දානව කියල හිතා ගත්ත.

සිද්දිය මේකයි, මම මගේ 28 වන රුධිර/රුධිර පට්ඨිකා ප්‍රදානය කිරීම කලා, බදුල්ල මහ රෝහලෙන් ආපු ඉල්ලීමකට, ඒ වගේම අදත් මට කෝල් දෙකක්ම ආව නාරාහේන්පිටින් සහ මහරගම අපේක්ශා රෝහලෙන් පට්ඨිකා ඉල්ලල. ඒත් ඉතින් ඊයෙ දුන්නු නිසා අදත් මට දෙන්න බෑනෙ 😓😓😓

Image: ncisl.health.gov.lk

මගේ ලේ වර්ගය දුර්ලබ නොවුනත්, මෙච්චර කෝල් එන්නෙ, ලේ දෙන්න පුලුවන් මිනිස්සු, ලේ පරිත්‍යාග නොකරන නිසා නේද….??

මුලින්ම කියන්න ඕන මේ ගැන,

මම මගේ පෝස්ට් එකෙන් ඔයාලත් එක්ක බෙදා ගන්නෙ, මම දැනට සාමාන්‍ය රුධිරය 5 වතාවක් සහ රුධිර පට්ඨිකා 23 වතාවක් දීල ලබාගත්තු අත්දැකීමෙන් ලත් දැනුම පමණයි, මම දොස්තර කෙනෙක්වත්, හෙද නිලධාරියෙක්වත් නෙමෙයි. ඒක නිසා මේ පෝස්ට් එකේ වරදක් ඇත්නම් මට සමා වී එය නිවැරදි කරයි කියල මම බලාපොරොත්තු වෙනව.

ඇත්තම කියනවනම්, නිතරම පට්ඨිකා දෙන අය එක්ක මාව බැලුවොත්, මම තවම පොඩි එකෙක්. ලංකාවෙ දැනට වැඩියෙන්ම ලේ දීල තියෙන්නෙ “උපුල්” අයියා. එයා දැනට 190 වතාවකට වඩා ලේ/පට්ඨිකා ප්‍රදානය කරල තියනව. 100 වතාවකට වඩා වැඩියෙන් දීපු අය ලංකාවෙන්ම 10-15 ත් අතර ප්‍රමාණයක් ඇති. ඒ වගේම මට වඩා දීපු අය ගොඩාක් ඉන්නව. හැබැයි, ඒ කොහොම දුන්නත් ලේ වල තියන අවශ්‍යතාවය එක්ක බැලුවොත්නම්, ලේ පරිත්‍යාග කරන අයගේ ප්‍රමාණය අඩුයි කියල කණගාටුවෙන් උනත් කියන්න වෙනව 😞

ඇත්තටම ගොඩක් දෙනා පට්ඨිකා දෙන්න පුලුවන්ද කියලවත් දන්නෙ නෑ. දෙන හැටි අහලවත් නෑ. මමත් මේ ගැන දැනගත්තෙ නාරාහේන්පිට ලේ බැංකුවට ගිහින් සාමාන්‍ය රුධිර පරිත්‍යාග කර කර ඉන්නකොට දැකපු හා අහල දැනගත්තු දේවල් වලින්.

ඒක නිසාම, පට්ඨිකා ගැන නොදන්නා කෙනෙක්ට මේ පෝස්ට් එක ගොඩක් වැදගත් වෙයි කියල හිතනව 😊

ඔයාලට උණක් හෙම්බිරිස්සාවක් හැදුනම ඔයා කොච්චර අමාරුවෙන්ද ඉන්නෙ කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ නේද 😏 ඇත්තටම උණ, හෙම්බිරිස්සාව කියන්නෙ සාමාන්‍ය ලෙඩ වලට. ඒත් ඉතින් ඒ ලෙඩ වලට අපි එච්චර දුක් විඳිනවනම් , ලේ/ පට්ඨිකා අවශ්‍ය රෝගියෙක් කොච්චරනම් දුකක් විඳිනව ඇත්ද කියල ඔයාගෙ පුංචි හිතෙන් ඔයාම හිතල බලන්න.😢

ඔයාගෙහරි, ඔයාගෙ ළඟම ආදරණීයයෙකුට ලේ ඕන උනාම ඔයා රට වටේම ඉන්න අයට කෝල් කර කර ඒ අවශ්‍ය ලේ වර්ගය හොයාගන්න කොච්චරනම් මහන්සි වෙල ඇත්ද…?? එහෙම වෙලාවකට ඔයාව වගේම ඒ රෝගියව කොච්චරනම් අසරණ වෙනවද…??අවශ්‍ය ලේ වර්ගය හොයාගන්න පුලුවන් වෙයිද නැත්ද කියල හිතලම ඔයාව කොච්චරනම් මානසිකව වැටෙයිද…??

හිතල බලන්න….!!

මේක ඔයාට වෙලා නැතුව ඇති, ඒත් කාටහරි උනොත්, ඒ අසරණකම ඔයාගෙ හිතෙන් තේරුම් ගන්න උත්සහ කරන්න. ඒ අසරණකම වචන වලට පෙරලන්න බැරි බව ඔයාටම තේරෙයි.

ඒ වගේ අසරණකමක් තමන්ගෙ ජීවිතේට නොවෙනම් ඒක කොච්චර දෙයක්ද 😊 ඒකනෙ, අප මහ බුදුන් වහන්සේ දේශනා කලේ, “ඔබ සතු හොඳම ධනය, නිරෝගී කමයි” කියල.

ඉතින් අර විදියට අසරණවෙලා ඉන්න මනුස්සයෙකුට පිහිට වෙන්න පුලුවන්නම් ඒක කොච්චර පිනක් වෙයිද..?? ඔයාගෙ ලේ බින්දුවක්, තවත් මනුස්සයෙක්ව ජීවත් කරවනව නේද කියල ඔයාගෙ හිතට දැනෙනකොට ඔයාට ලැබෙන සතුට, සැනසීම සල්ලි වලට ගන්න බැහැ මහත්තයො….!!

හැමදේම විනාශ කරන ලෝකෙක, තවත් ජීවියෙක් ජීවත් කරවන්න පුලුවන්නම් ඔයා උතුම් මනුස්සයෙක් වේවි…!!

හැඳින්වීමක් :

ලංකාවෙ ඉන්න ජනගහනයෙන් රුධිරය පරිත්‍යාග කරන්නෙ 10% වගේ සුළු ප්‍රමාණයක්  කියල තමයි නාරාහේන්පිට ලේ බැංකුව කියන්නෙ. (පේනවනෙ, ඩේලි ජිම් ගියාට, යකඩ ඉස්සුවට, කෙල්ලොන්ට පේන්න සික්ස් පැක් හදාගත්තට අපේ උන් මේ පුංචි කට්ට ගහනවට බයයි 😅😅😅)

කොල්ලෙක් උනාම කොලුකමත්, යුතුකමත් දැනගෙන වැඩ කරනවනම් තමයි ගොඩක් හොඳ. ඉගෙනගෙන හම්බකරල තමන්ගෙ ජීවිතේ විතරක් ලස්සන කරගත්තට මදි. මේක අපි අපේ සමාජ වගකීමක් කරගමු.
(කෙල්ලො ගැන වැඩිය කතාකලේ නැත්තෙ, එයාලට මීට වඩා උතුම් මෙහෙවරක් සමාජය වෙනුවෙන් කරන්න තියන නිසා. උතුම් මාතෘත්වයත් එක්ක ලේ/පට්ඨිකා දෙන එක ටිකක් අමාරුවෙයි. ඒත් බැරිම නෑ. ලේ/පට්ඨිකා දෙන කෙල්ලො ඕනතරම් ලංකාවෙ ඉන්නව )
එක නිසා කෙල්ලො කොල්ලො කාටත් කියන්නෙ, හතර හන්දි පණ තියන කාලෙ දෙන දෙයක් දෙන්න. අපි දන්නෙ නෑනෙ අපිට හෙට මොනව වෙයිද කියල.

ඉතින් මේ 10% ට ඇතුලත් අයත්, එයාලගෙ සෞඛ්‍ය තත්වයන් මත හා වෙනත් කරුණු මත ලේ ප්‍රදානය කිරීමට නුසුදුසු කෙනෙක් වෙනව. උදා විදියට රුධිර ප්‍රදානය කරන කෙනෙක්ට කෙටිකාලීන දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි ලෙඩ ඇතිවීම නිසා රුධිර ප්‍රදානයට නුසුදුසු වෙන්න පුලුවන්. ඒ වගේම උණ, හෙම්බිරිස්සාව, තුවාල වැනි සුලු ආබාධ තියනකොටත් දෙන්න බෑ.

ඒ වගේම එක් වරක් ලේ දුන්නට පස්සෙ ඒ අදාල කාලය සම්පූර්ණ වෙනකන් ඔහු හෝ ඇය රුධිර ප්‍රදානය කිරීමට නුසුදුස්සකු වෙනව.

ඔයාගෙ සෞඛ්‍යය තත්වය

ඔයාල ලේ/පට්ඨිකා දෙන්න ආසනම්, ඔයා හොඳ සෞඛ්‍යයෙන් ඉන්න ඕන.පට්ඨිකා දෙනවනම් ටිකක් කැපකිරීම් එහෙමත් කරන්න ඕන. මොකද පට්ඨිකා ගන්නෙ අවශ්‍යතාවය මතම පමණයි. ඒ නිසා හරියටම ඒ වෙලාව වෙද්දි ඔයා ෆුල් ෆිට් එකේ ඉන්න ඕන. එහෙම නැතුව, අද රෑ කනමදය වගේ බීල ඇවිත් හෙට උදේට ලේ/පට්ඨිකා දෙන්න බෑ. (බෑ කියන්නෙ, එහෙම දෙන එක ඔයාට කෙසේවෙතත් ලෙඩාට හොඳ නෑ) ඒ වගේම ඔයා පට්ඨිකා දෙන්න කලින් අධික විදියට තෙල් කෑම කෑවනම්, ඔයාගෙ පට්ඨිකා වල පැහැයේ සිදුවන වෙනස්වීම් මත ඒක බලාගන්න පුලුවන්. එහෙම උනොත් ඒකත් පට්ඨිකා ලබාගන්නා රෝගියාට ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්.

ඔයාගෙ ලිංගික කටයුතු

ඒව ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඔයාම තීරණය කරන්න ඒ පැත්තෙන් ඔයා ලේ දෙන්න සුදුසුයිද නැද්ද කියල. ඔයාට දකින දකින කෙනා එක්ක නිදාගැනීමේ පුරුද්දක් තියනවනම්, කොච්චර ලේ දෙන්න ආස උනත් ලේ නොදී ඉන්න එකම තමයි හොඳ. දකින දකින හැමෝත් එක්කම නොවුනත්, අනවශ්‍ය ලිංගික කටයුතු කරනකොට උපරිම ආරක්ෂාකාරී වෙන එක කෝකටත් හොඳයිනෙ.

සාමාන්‍ය රුධිරය හා රුධිර පට්ඨිකා

සාමන්‍ය ලේ ගැන ඔයාල දන්නවනෙ. ඒ ලේ සාම්පල් එකක් ගත්තම ඒක, සුදු රුධිරානු, රතු රුධිරානු , පට්ඨිකා , ප්ලස්මා කියල වෙන් කරල ගන්න පුලුවන්. සාමාන්‍ය රුධිරය යම් ක්‍රියාවලියකට භාජනය කරල තමයි ඔය ටික වෙන් කරන්නෙ.

ඔපරේෂන් වලදි දැන් ගොඩක්ම පට්ඨිකා ලබා දෙනව. ඒකෙන් කරන්නෙ ඒ රෝගියාට අවශ්‍යම දේ විතරක් ලබාදෙන එක. (පට්ඨිකා ඕන කෙනාට සාමාන්‍ය ලේ පයින්ට් එකක් දෙනවට වඩා, පට්ඨිකා අවශ්‍ය ප්‍රමාණය ලබාදීම වඩාත් ඵලදායකයිලු)

දැන් කවුරුහරි අහයි, සාමන්‍ය ලේ පයින්ට් එකක් දුන්නම, ඒකෙ පට්ඨිකා තියන නිසා ඒකෙන් ගන්න පුලුවන් නේද කියල….
උත්තරේ ඔව්…

Image: global.britannica.com

ඔව් එහෙම ගන්න පුලුවන්. නමුත්, රුධිර පට්ඨිකා අවශ්‍ය රෝගියෙක්ට අවශ්‍යවන පට්ඨිකා ප්‍රමාණය ගන්නනම්, සාමාන්‍ය රුධිර පයින්ට් 6ක් ප්‍රොසෙස් කරල ගන්න ඕනලු. ඒ කියන්නෙ 6 දෙනෙක්ගෙන් ලේ අරගෙන ඒක ප්‍රොසෙස් කරල තමයි අර ලෙඩාට අවශ්‍ය පට්ඨිකා ප්‍රමාණය ගන්න වෙන්නෙ. එතකොට අර ලෙඩා රුධිර දායකයින් 6 දෙනෙක්ටම නිරාවරණය වීමක් වෙනව. ඒක තරමක රිස්ක් එකක්.

අන්න ඒ රිස්ක් එක නැති කරගන්න තමයි මේ පට්ඨිකා කෙලින්ම ලබාගැනීම කරන්නෙ. මේ විදියට කෙලින්ම පට්ඨිකා විතරක් ගන්නකොට තව වාසියක් තියනව. ඒ තමයි, පට්ඨිකා දායකයාගෙන් ගන්නා පට්ඨිකා ප්‍රමානය රෝගීන් වැඩි ගනනකට (මෙය විවිධ කරුණු මත පදනම් වේ) ලබා දිය හැකි වීමයි. මොකද, එතනදි වෙන්නෙ සාමාන්‍ය ලේ පයින්ට් 1ක තියන පට්ඨිකා වලට වඩා දායකයාගේ මුලු ඇඟෙන්ම ගන්න පට්ඨිකා ප්‍රමාණය වැඩි නිසා.

ඔන්න ඔන්න ඉතින් දැන් බය උනාද පට්ඨිකා ගන්නව කියල ඔයාගෙ මුලු රීරි මාන්සෙම උරාගන්නව කියල 😄 😂
අපෝයි නෑ…නෑ…

කොහොම ගත්තත්, ඔයාට ජීවත් වෙන්න අවශ්‍ය පට්ඨිකා ඒකක 150ක ප්‍රමාණයක් ඔයාගෙ ඇඟේ ඉතුරු කරල, ඊට වැඩි ටික තමයි ඔයාගෙන් ගන්නෙ.

සුදුසුකම් මොනවද

සාමාන්‍ය රුධිර දෙනකොට තියන ටිකම තමයි. බර 50kg වලට වඩා වැඩි වෙන්න ඕන. හැබැයි සාමාන්‍ය රුධිර ප්‍රදානයකදීට වඩා පොඩ්ඩක් සෞඛ්‍ය පැත්ත බලනව වැඩී. මොකද පට්ඨිකා ගන්න වෙලාව යන නිසා ප්‍රෙශර් එහෙම හොඳ මට්ටමක තියෙන්න ඕන.

හැබැයි ඉතින්, සාමන්‍ය රුධිර ප්‍රදානයන් 3-5 වතාවක් කරල නැත්තන් ඒ කෙනාගෙන් පට්ඨිකා ගන්නෙ නෑ.
(සාමාන්‍ය ලේ දීල ඇඟ පොඩ්ඩක් හුරු කරගෙන ඉන්න එක හොඳයි. නැත්තන් එක පාරටම අමාරු වෙයි ගොඩක් වෙලා ඉන්න ගියාම.)

සාමාන්‍ය රුධිරය හා රුධිර පට්ඨිකා වල ජීවී කාලය

සාමාන්‍ය රුධිර පැකට් එකක් මාස 4ක් තියාගන්න පුලුවන්ලු. ඒත්, පට්ඨිකා තියාගන්න පුලුවන් උපරිම කාලය දවස් 5 යි.

රජය විසින් දරන වියදම

සාමාන්‍ය රුධිර ලබාගන්නනම් ලොකූ ගානක් යන්නෙ නෑ… ඒත්, පට්ඨිකා ගැනීමේදී ඒකට ගන්න කිට් එකට විතරක් රු. 30,000-40,000ක් යනව. එක කිට් එකක් එක්කෙනෙක්ටම විතරයි. ඒ වගේම තව ටෙස්ට් වගයක් තියනව. ඔක්කොම කරන්න ඍජු පිරිවැය විතරක් රු. 50,000 ට වඩා යනව.

මේ විදියට, අධික වියදමත්, තබාගතහැකි කාලය කෙටි වීමත් නිසාම, පට්ඨිකා රැස්කර තබාගෙන අවශ්‍ය වූ වෙලාවට නිකුත් කිරීමක් කරන්නෙ නෑ. පට්ඨිකා ගන්නෙ අවශ්‍ය උනාම විතරයි. ලංකාවෙ මොන හතර දිග් බාගෙන් උනත් පට්ඨිකා වලට ඉල්ලීමක් ආවොත් ඒ අයට ඒව හොයල දෙන්න නාරාහේන්පිට ලේ බැංකුව බැඳී ඉන්නව.
ඒ වගේම ඒ පට්ඨිකා අවශ්‍ය රෝහලට ඉක්මනින්ම යවන්නත් ඒ අය කටයුතු කරනව. 😊

පට්ඨිකා ප්‍රදානයේ ක්‍රියාවලිය කොහොමද

සාමාන්‍ය රුධිර ප්‍රදානය කිරීමේ ක්‍රියාවලිය දන්නවනෙ. ඒක නිසා ඒක ගැන විස්තර මෙතන කොටන්නෙ නෑ.

හැබැයි පට්ඨිකා වෙනස්. මම කලින්ම කිව්ව වගේ, ඒව අපිට ඕන වෙලාවට දෙන්න බෑ. ඒ නිසා පට්ඨිකා දෙන්න කලින්, ඔයා ඒව දෙන්න කැමතියි කියල ඔයාගෙ ලේ වර්ගයත් එක්ක ඔයාව සම්බන්ධ කරගන්න පුලුවන් විස්තරටික, ලේ බැංකුවට දෙන්න (කෝල් කරල කිව්වම ඇති)

අහ්හ්.. ඒ වගේම මහරගම අපේක්ශා රෝහලටත් කියල තියන්න පුලුවන්.
මම දන්න තරමින් මේ තැන් දෙක විතරක් උනාට, තවත් රෝහල් වලින් පට්ඨිකා ගන්නව කියල අහල තියනව.

දැන් ඉතින්, ඔයාගෙ විස්තර එයාල ලඟ තියන නිසා පට්ඨිකා අවශ්‍ය උනාම එයාල ඔයාට කතා කරයි. ඒ කතා කරපු ගමන් දෙන්නත් රෙඩි වෙලා ඉන්න ඕන හරිය. 😊😊
අද බෑ.. මම හෙට ඇවිත් දෙන්නම් කතා බෑ හොඳේ. මොකද සමහර වෙලාවට ලෙඩාට හවසට ඔපරේෂන් එකනම්, උදේට තමයි පට්ඨිකා ගන්න හොයන්නෙ. ඒක නිසා, හැමවෙලේම සූදානම් ශරීරයෙන් ඉන්න වෙනව. 😜

හරි ඊට පස්සෙ එතන තියන ෆෝර්ම් ෆිල් කරල, දොස්තර හම්බෙලා ඔයාව OK උනාම ලස්සන චූටි නර්ස් කෙනෙක් ඇවිත් ඔයාගෙන් පොඩි ලේ සාම්පල් එකක් ගන්නව. ඒක ගන්නෙ ඔයාගෙ ඇඟේ ඒ වෙලාවෙ තියන පට්ඨිකා ප්‍රමාණය (platelet count) බලා ගන්න. මේ කවුන්ට් එක පුද්ගල සාධක මත වෙනස් වෙනව. (ඒ කියන්නෙ, පුද්ගලයාගේ ඒ වෙලාවෙ තියන සෞඛ්‍ය තත්වය, ඊට කලින් දවසෙ ගොඩක් මහන්සි උනාද/නැත්ද, හොඳට නිදා ගත්තද, කෑවද බිව්වද… වැනි සාධක) කවුන්ට් එක වැඩිනම් හොඳයි. හැබැයි පුතේ අඩුයිනම් ආයෙ කතා දෙකක් නෑ අල්ලගෙන ඔයාට දෙයි හොඳේ 😆😆

ඊට පස්සෙ ඔයාගෙ කවුන්ට් එකේ හැටියට තමයි දොස්තර තීරණය කරන්නෙ ඔයාගෙන් කොච්චර පට්ඨිකා ගන්නවද කියල. කොහොම උනත් ඔයාගෙ ඇඟේ පට්ඨිකා 150 ක් තියල ඊට වැඩි ටික තමයි ඔයාගෙන් ගන්නෙ 😊
(ඒ ගන්න ප්‍රමාණයත් පුද්ගල සාධක මත වෙනස් වෙනව : උස, බර, කලින් දුන්නු ප්‍රමානය, වයස වගේ දේවල්)

අහ්හ්… පට්ඨිකා ගන්න කලින් ඔයාට කැල්සියම් පෙති 2ක් දෙයි, කුක්කු පැකට් එකක් එක්ක. ඒක බීල, චූ පාරක් එහෙම දාල ඇඳට නගින්නනම් අමතක කරන්න එපා. නැත්තම් පට්ඨිකා දි දී ඉද්දි චූ බර හැදුන කියල ඒ ක්‍රියාවලිය නවත්තල චූ කරන්න යන්න බෑ. 😂😆

Image: katokula.blogspot.com

චූ බර සීන් එකනම් නාරාහේන්පිට ලේ බැන්කුවෙ ලොකුවට තියනව. මොකද ඒ මැශින් වලට A/C ගොඩක් ඕන නිසා හොඳට කූල් වෙන්න දානව. ඒ ඇරත්, පට්ඨිකා දෙන්න විනාඩි 70-90 වගේ කාලයක් යනනිසා කලින් බීපු කූල්ම කූල් කුක්කු පැකට් එක වැඩකරන්න පටන් අරගන්න කාලය හරි ඒකයි. (මේව තනිකර ආතල් අත්දැකීම්)

ඊට පස්සෙ, ඔයා ඇඳට නැග්ගට පස්සෙ සාමාන්‍ය විදියටම එක කට්ටක් ගහයි අතේ. ඒ අතටම බෝලෙකුත් දෙයි මිරිකන්න. දැන් ඉතින් මිරිකපන් මයෙ දෙයියො විනාඩි 80ක් විතර 😀😃

(විනාඩි 75ක් (සාමාන්‍ය කාලය) ඉන්න ඕන නිසා කෝකටත් තමන්ගෙ ෆෝන් එක අරගෙන ගිහින් අනිත් අතින් ඔබ ඔබ ඉන්න. එහෙම නැත්තම් නර්ස් ට කියල ටීවි එක දාගෙන බලන්න.
එහෙම් නැත්තම්, ඔයාගෙ ලේ එලියට ගිහින් ඔයා ලඟම තියන තරමක් ලොකු මැශින් එකට ගිහිල්ල ආයෙත් ඔයාගෙ ඇඟට ලේ එන්නෙ කොහොමද කියල කාගෙන්හරි අහල දැනගන්න.)

Image: platelets.blood.co.uk

ඒ මැෂින් එකේදි වෙන්නෙ, ඔයාගෙ සාමන්‍ය රුධිරය ක්‍රියාවලියකට (තත්පරයට 7,000-12,000 අතර කාලයක් රුධිර සාම්පලය භ්‍රමණය කිරීම තුලින්) භාජනය කරල ඒකෙන් පට්ඨිකා සහ ප්ලස්මා වෙන වෙනම පැකට් වලට යවල, අනෙක් ලේ කොටස් ඔයාගෙම ඇඟට ඒ වෙලාවෙම නැවත ලැබෙන එක.

ලේ එලියට ගිය ගමන් කැටි ගැහෙන නිසා මේ ක්‍රියාවලිය වෙද්දී ඒකට සේලයින් එක්ක තව drug එකක් එකතු වෙනව. ඒක ශරීරයට අහිතකර නෑ. ආයෙත් ඔයාට ලේ කොටස් (පට්ඨිකා රහිත) දෙද්දි අරවත් මික්ස් වෙලා තමයි එන්නෙ. ඒක නිසා පැයක් එකහමාරක් යනකන් පොඩියට ඇඟ ඇතුලෙන් වයිබ්‍රේට් වෙනව වගේ දැනෙනව. තොල් වේලිල යනව. ඇඟ ටිකක් කූල් වේගෙන එනව. ඒවට බය වෙන්න එපා. පළවෙනි පාර දෙද්දි මැජික් උනාට, ඊට පස්සෙ ඔයාට ගානක්වත් නැති වෙයි.

Image: katokula.blogspot.com

ඇත්තටම ඔයා කිසිම දේකට බය වෙන්න එපා. මොකද ඔයාව ඒ වෙලාවට බලාගන්න ඔයාගෙ වටේ සුර දූතියො වගේ චූටි නර්ස් මිසීල ටිකකුයි හරිම කියුට් ලේඩි ඩොක්ටර් කෙනෙකුයි ඉඳියි. 😊
(දැන් අහයි, පිරිමි දොස්තරල නැද්ද කියල. ඉන්නව ඉන්නව… ඒ උනාට ඉතින්, කියුට් ලේඩි ඩොක්ටර්ස්ලයි, ලස්සනම් ලස්සන නර්ස්ලයි ඉන්නව කිව්වමනෙ අපේ කට්ටිය ගැම්මට ගිහින් පපුව පලල හරි ලේ දෙන්නෙ….
කවුරු හිටියත් ඒ ඉන්න හැමෝම ඔයාට දෙවියන්ට වගේ සලකයි. මොකද ඒ හැමෝම, අර රෝගියගෙ ජීවිතේ වටිනකම දන්න නිසා…!!

ඉතින් මේ ප්‍රොසෙස් එක ගැන සරලව කියනවනම්, මේකෙ පලවෙනි විනාඩියෙ ඔයාගෙ ඇඟෙන් ලේ එලියට යනව, ඒ එක්කම මැශින් එකෙන් ක්‍රියාවලිය වෙනව. ඊට පස්සෙ විනාඩියේදි ඔයාගෙ ඇඟ තුලට පට්ඨිකා රහිත ලේ ඇතුල් වෙනව. ආයෙත් විනාඩියක් එලියට යනව.ආයෙත් ඇඟ ඇතුලට එනව. ඔන්න ඕක තමයි මුලු විනාඩි 70-90 පුරාවටම වෙන්නෙ.

ඇත්තටම ඔයාල එක පාරටම මේ පෝස්ට් එක කියෝල, මේ ප්‍රොසෙස් එක ගැන තේරුනේ නෑ කියල පොඩ්ඩක්වත් බය වෙන්නනම් එපා. එතන ඉන්න හැමෝම ඒ හැමදේම ඔයාට ප්‍රැක්ටිකලිම කියල දෙයි.

අහ්හ් අර අතට දුන්නු බෝලෙ මිරිකන්නෙ, ඔයාගෙ ඇඟෙන් ලේ එලියට යනකොට විතරයි හොඳේ…. ඔයාගෙ ඇඟ ඇතුලට ලේ එනකොට මිරිකන්න යන්න එපා. 😄😄

තව දෙයක්, ඇඟෙන් ලේ එලියට යන්නයි, ආයෙත් ඇතුලට පට්ඨිකා රහිත ලේ එන්නයි කියල ඔයාට කටු දෙකක් වෙන වෙනම ගහන්නෙ නෑ. ඒ වැඩ දෙකම වෙන්නෙ එකම කට්ටක් හරහා.

ඔන්න ඔය විදියට විනාඩි 70-90ක් වගේ කාලයක ක්‍රියාවලියක් තමයි ඕක. එච්චර කාලයක් එක දිගට, එකම විදියට ඉන්නව කියන එකත් ඔයා කරන ලොකු කැප කිරීමක් තමයි. මොකද ඔයාගෙ ඒ කැපකිරීම ඔයා වෙනුවෙන්ම නෙමෙයිනෙ, තවත් ජීවිතයක් ජීවත් කරවන්නනෙ 😇

Image: National Blood Transfusion Service – Sri Lanka

ඉතින් ඒ විදියට ඔයාට හැමදේම ඉවසගෙන, දරාගෙන, කැපකරගෙන විනාඩි 90ක් ඉන්න පුලුවන් උනොත් අර රෝගියා ඔයාගෙ පට්ඨිකා වලින් එයාගෙ මුලු ජීවිත කාලයම සතුටින් ඉඳියි නේද..??

හරි දැන් වැඩේ ඉවරයි. ඒත්, වැඩේ ඉවර උනාම, වීරය වගේ එක පාරටම නැඟිටින්න ගිහින් ඇදගෙන වැටෙන්න නම් එපා හොඳේ. ඔයාට ඇති වෙනකන් ඇඳට වෙලා ඉන්න. එහෙම ඉන්න කොට ඔයාගෙ පට්ඨිකා පැකට් එකත් බලන්න පුලුවන් වෙයි. පැය ගානක් ගත්තට ඔයාගෙ ඇඟෙන් හෙනම පොඩ්ඩයි ගන්නෙ. ඒත් ඒ පොඩ්ඩ අසරණ ලෙඩෙක්ට මහමෙරක් තරම්ම වටිනව. 😊

ඔන්න දැන් ඔයා පට්ඨිකා ප්‍රදානය කරල ඉවරයි. මේ ඔක්කොම වෙන්න යන සාමාන්‍ය කාලය නම් පැය2-3ත් අතර වෙනව. ඒක නිසා ඔෆිස් එකට හාෆ් ඩේ එකක් දාලම එන්න.
ඇත්තටම මටනම් එහෙම ප්‍රශ්න නෑ… මේ වැඩ වලට අපේ බොස් මාව ෆුල් රිලීස් කරල ඉන්නෙ. ඒක නිසා ලේ බැංකුවෙන් කෝල් කරන ඕනම වෙලාවකට ලේ දෙන්න මම රෙඩී…💪

ඔක්කොම වැඩ ඉවර උනාම එහෙන් දෙන දෙයක් කාල, බීල ඔයා යන්න. පට්ඨිකා දීල ගිහින් බර වැඩ කරන්න එපා. පුලුවන්නම් හොඳට කාල පැලෙන්න දොයියන්න.

එක පාරක් දුන්නට පස්සෙ…?

සාමාන්‍ය රුධිරය මාස 4න් 4 ට තමයි දෙන්න පුලුවන්.
ඒ උනාට ඔයා පට්ඨිකාම දෙනවනම් සති 2න් දෙකට දෙන්න පුලුවන්.

ඔන්න ඕකයි පට්ඨිකා කතාව. හැබැයි පට්ට කෙටියෙන් දැම්මෙ. තව විස්තර ඕනනම් අහන්න.

ඔයාටත් හිතෙනවනම් ඔයාගෙ ඇඟෙන් ලේ ටිකක් දීල අසරණ රෝගියක්ට පිහිට වෙන්න ඕන කියල,
එහෙනම් අදම මේ නොම්බර වලට කතා කරල ඔයාගෙ විස්තර ලේ බැන්කුවට දෙන්න.

නාරාහේන්පිට ලේ බැංකුව 0112369937
අපේක්ශා රෝහල මහරගම 0112849525

අපමහා බෝසතාණෝ මහ මුහුද තරමට ලේ දන් දුන්නනම්, ඔයාට එක ලේ පයින්ට් එකක් දෙන්න බැරි නෑ…….!!!

මේක කියෝල යමක් ඉගෙන ගත්තනම්, අනිත් අයටත් බලන්න ශෙයාර් පාරක් දාගෙනම යන්න….

මේක කියෝල එක්කෙනෙක් හරි වැඩේට බැස්සොත් මගේ උත්සාහය අතිසාර්ථක වේවි!!! 😊😊😊


Like it? Share with your friends!

1.9k SHARES
1.9k SHARES
What's Your Reaction?
Cute Cute
10
Cute
Lol Lol
7
Lol
OMG OMG
28
OMG
Thanks Thanks
17
Thanks
Cry Cry
8
Cry
Like Like
50
Like
Confused Confused
5
Confused
Dislike Dislike
7
Dislike
Damn Damn
21
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

මොනවද මේ පට්ඨිකා (Platelets)..? ඔයත් රුධිර පට්ඨිකා ප්‍රදානය කිරීමට කැමතිද? ඒවා කොහොමද දෙන්නෙ?

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Poll
Story
Video
Image