අතීත මතක – ලංකාවේ වඩාත් ජනප්‍රිය වූ බටහිර ගීත

Blasts from the past- English songs that made waves in Sri Lanka

බටහිර ගීත ශ්‍රවණය කිරීම, බටහිර ගීත ප්‍රිය කරන රසිකයින් ලංකාවට අළුත් දෙයක් නෙමෙයි. රේඩියෝ සිලෝන් පටන් ගන්නත් කලින් ඉඳල බටහිර ගීත අපේ රටේ යම් සමාජ ස්ථරයක් තුළ ජනප්‍රිය වෙමින් පැවතුණා. නමුත් මේක සාමාන්‍යකරණය වෙන්න ගත්තෙ එහෙම නැත්නම් බටහිර ගීත අසන රසික ප්‍රජාව පුළුල් වෙන්න ගත්තෙ මෑත ඉතිහාසය තුළයි. රූපවාහිණියේ ආගමනයත් එක්ක බටහිර ගීත සඳහා වෙනම වැඩසටහන් පවා නිර්මාණය වෙද්දි FM නාලිකා බිහිවීමත් සමඟ මේ තත්ත්වය තවත් වර්ධනය වෙන්න ගත්ත. අදවන විට බටහිර ගීත ශ්‍රවණය කරන පිරිස එදාට සාපේක්ෂව ඉතා විශාල ප්‍රමාණයක්. ඒ වගේම සමාජයේ එක් පිරිසකට පමණක් සීමා වූ දෙයකුත් නෙමෙයි.

කලකට ඉහතදි අපේ රටේ බටහිර ගීත කෙරෙහි උනන්දුවක් නොදැක්වූ පිරිස් අතර පවා ජනප්‍රිය වූ ගීත කිහිපයක් ගැන මතකය ආවර්ජනය කිරීමට තමයි අද අපේ මේ උත්සාහය.

15. Where Do You Go – NO MERCY

90 දශකයේ මැද හරියෙදි ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ රටවල ජනප්‍රිය වූ, ගීත දර්ශකවල මුල් ස්ථාන පහ අතරට පවා පැමිණි ලස්සන ගීතයක් තමයි මේ. ඇත්තටම මේක NO MERCYල කරපු එක කවර් වර්ෂන් එකක්. නමුත් එය මුල් ගීතය පෙරළගෙන ඉදිරියට ගියා කිව්වොත් තමයි නිවැරදි.

14. Barbie Girl – Aqua

90 දශකයේ අග හරියෙදි ගොඩක් ජනප්‍රියවුණු, නටන්නම හදපු ගීතයක් තමයි මේකත්. ඒ වගේම සුප්‍රකට බාබිඩෝල් බෝනික්කන නිපදවන Mattel සමාගම MCA Records ආයතනයට එරෙහිව නෛතික ක්‍රියා මාර්ගවලටත් එළඹෙනව. ඒ මෙම ගීතය මගින් ඔවුන්ගේ වෙළඳ සලකුණ අවභාවිත කළ බව පවසමින්.

13. Shalala lala – vengaboys

තරමක් සරාගී මියුසික් වීඩියෝවක් සමඟ පැමිණි මේ ගීතයනම් බොහෝ දෙනෙක්ට මතක ඇති. ඇත්තටම මේකත් කවර් වර්ෂන් එකක්. Walkers කියන ඩෙන්මාර්ක් සංගීත කණ්ඩායම තමයි මෙහි මුල් ගීතයෙ හිමිකරුවන්.

12. The Final Countdown – Europe

රොක් මියුසික් අහන්නෙ නැති අයත් කැමති ගීතයක් තමයි මේක. ලංකාවෙ අපිටනම් ක්‍රිකට් වර්ල්ඩ් කප් කාලෙට කට පාඩම් වෙන වචන ටිකක්නෙ මේ තියෙන්නෙ. හැබැයි මේ ගීතය 1986 දක්වාම ඈතට යන ගීතයක්. ඒ වගේම රටවල් 25ක ගීත දර්ශකවල පළමු ස්ථානය හිමිකරගන්නත් මේ ගීතය සමත්වුණා.

11. Everything I Do – Bryan Adams

1991 තිරගත වූ Robin Hood: Prince of Thieves සිනමාපටය වෙනුවෙන් නිර්මාණය වූ මෙම ගීතයත් ඉතාම ජනප්‍රිය වූවක්. ඒ වගේම සම්මාන රැසක් දිනාගත් ගීතයක්.

10. Quit Playing Games – Backstreet Boys

Backstreet Boys කියන්නෙ 90 දශකයේ උන්මාදයක්. As Long as You Love Me, Show Me the Meaning, Everybody වැනි ඔවුන්ගෙ ගීත විශාල සංඛ්‍යාවක් මේ වකවානුවෙදි ලංකාවෙ ජනප්‍රියත්වයට පත්වෙනව. ඒ අතරිනුත් Quit Playing Games සුවිශේෂී ගීතයක්.

09. María – Ricky Martin

“Un, dos, tres, un pasito pa’delante Maria” කියල ඇහෙද්දි කකුල් දෙක නැටවෙන්නෙ දන්නෙම නැතුව. රීකී මාටින්ව අන්තර්ජාතික තලයට ඔසවල තිබ්බ ගීතය තමයි María. ඒ වගේම තමයි රීකී මාටින්ගෙ නර්තනය. මරියා ඇත්තටම දඟකාරයි.

08. By the Rivers of Babylon – Boney M.

මේ ගීතය මුලින්ම ගායනා කළේ ජැමෙයිකානු රෙගේ සංගීත කණ්ඩායමක් වන The Melodians විසින්. ඒ 1970දි. නමුත් මේ ගීතය අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වෙන්නෙ 1978දි Boney M. සංගීත කණ්ඩායම යළි ප්‍රතිනිර්මාණය කිරීමත් සමඟයි.

07. Will You Be There – Michael Jackson

මයිකල් ජැක්සන් නැතුව මේ සටහන කොහොමටවත් සම්පූර්ණ නැහැ. MJ ගෙ රසිකයින්ටනම් මීට වඩා හිට් වුණු සහ ඔවුන් ආදරයෙන් වැළඳ ගත්ත ගීත ඕනෙ තරම් තියෙනව තමයි. Thriller, Beat it, Billie Jean, They Don’t care About Us වැනි ගීත. නමුත් බටහිර ගීත ප්‍රිය නොකරන පිරිස් අතර පවා මේ ගීතය ජනප්‍රිය වීම තමයි විශේෂත්වය.

06. La Isla Bonita – Madonna

මැඩෝනගෙ සේරමත් හරි මේ ගීතයත් හරි. ඒ තරමටම ජනප්‍රියවුණු ගීතයක්. 1987දි නිර්මාණය වූ මේ ගීතයේ තනුව මුලින්ම ලබා දී තිබෙන්නෙ මයිකල් ජැක්සන් හටයි. නමුත් පසුව එම අවස්ථාව මැඩෝනා විසින් හිමිකර ගැනීමට සමත් වෙනව.

05. Bailamos – Enrique Iglesias

මෙයාවනම් කවුද නොදන්නෙ. අපේ රටේ විශාල ජනප්‍රියත්වයක් හිමිකරගත් ගායකයෙක් තමයි Enrique. ඔහුගෙ ජනප්‍රිය ගීත විශාල සංඛ්‍යාවක් තිබුනත් ලංකාවෙ රසිකයො Enriqueව හඳුනගත්තෙ Bailamos තුළින්. ඇත්තටම ලංකාවෙ විතරක් නෙමෙයි අන්තර්ජාතික වශයෙනුත් ඔහු තරුවක් බවට පත්වෙන්නෙ මේ ගීතයෙන්.

04. We Are the Champions – Queen

Queen කිව්ව ගමන් මටනම් ඉස්සෙල්ලම ඔලුවට එන්නෙ ෆ්‍රෙඩී මකියුරි. ඊළඟට “බොහීමියන් රැප්සඩි”. නමුත් ඔවුන්ගේ ගීත අතරින් ලාංකිකයන්ටනම් හොඳටම හුරු පුරුදු ගීතය තමයි We Are the Champions. විශේෂයෙන් 1996 ක්‍රිකට් ලෝක කුසලානය හා මෙම ගීතය සමඟ බැඳුනු සුන්දර මතකයක්නම් හැමෝටම ඇති.

03. Hotel California – The Eagles

තවත් අමරණීය ගීතයක්. 1977දි නිර්මාණය වූ මෙම ගීතය ලංකාවෙනම් එදාටත් වඩා ජනප්‍රිය වෙන්නෙ මෑත කාලයේදියි. ඒ වගේම මේක සම්මානනීය ගීතයක්. ඒ වගේම මෙහි එන දීර්ඝ ගිටාර් වාදනය ඉතිහාසයේ හොඳම ඒකල ගිටාර් වාදන ඛණ්ඩය ලෙසත් මනාප ලබා තිබෙනව.

02. Ob-La-Di, Ob-La-Da – The Beatles

බීට්ල්ස්ලව කොහොමද අමතක කරන්නෙ. ඒ වගේම තමයි මේ ගීතයත්. ඒකට හේතු කිහිපයක්ම තියෙනව. “කොඩි ගහ යට මම උපන්නේ” කියන්නෙ ඒ අතරින් එක හේතුවක්. මේ කාරණාවෙන්ම හිතාගන්න පුලුවන්නෙ මුල් ගීතය ලංකාවෙ ජනප්‍රියවුනු තරම. මේ ගීතයේ ඉතිහාසයත් 1968 තරම් ඈතකට යනව.

01. Lambada – Kaoma

මේ තියෙන්නෙ කාලයක් නිතර දෙවේලෙ ඇසුනු ගීතයක්. ලංකාවෙ විතරක් නෙමෙයි මේ ගීතය ජනප්‍රිය වෙන්නෙ. ප්‍රංශ සංගීත කණ්ඩායමක් සහ බ්‍රසීලියානු ගායිකාවකගේ එකතුවෙන් තමයි මේ අපූරු ගීතය බිහිවෙන්නෙ. මේ ගීතය කොච්චර ජනප්‍රියවුනාද කියන එක පැහැදිලි වෙන්නෙ මේ තනුවට නිර්මාණය වූ “ආදරේ ඔබ මා හට නැතිද කියා” ගීතය ඇසෙද්දි තමයි.

මේ වගේ මතකයේ රැඳුනු බටහිර ගීත විශාල ප්‍රමාණයක් තව තියෙනව. ඇත්තටම ගීත 15ක් තෝරන එකම අමාරු වැඩක්. Rythem Devine, Be With You, Livin la vida loca, NoBody Wants to Be Lonely, Daddy Cool, We Will Rock You, I Want to Break Free, Coco Jambo, Angel, It Wasn’t Me වැනි ගීත පිළිබඳවත් සිහිපත් කළ යුතුයි.

Leave your vote

0 points

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

Refresh us with your thoughts..