web analytics

ලංකාවේ නිර්මාණය වූ හොඳම හාස්‍යෝත්පාදක ටෙලි නාට්‍ය 10ක්


හිනාවෙන්න කැමතිද? කවුද දෙයියනේ හිනාවෙන්න අකමැති. පුලුවන්නම් හැමතිස්සෙම හිනාවෙනවනෙ. ඇත්ත, හාස්‍ය රසය කියන දේට මිනිස්සු ඒ තරමටම කැමතියි. දවස ගානෙ මුහුණදෙන්න වෙන පවුල් ප්‍රශ්නයි, ජොබ් එකේ ප්‍රශ්නයි, රටේ ප්‍රශ්නයි ඔක්කොම ඔළුවෙ දාගෙන හෙම්බත්වෙලා ඉන්න වෙලාවට හාස්‍ය රසය කියන්නෙ දිව්‍ය ඖෂධයක්. ප්‍රශ්න සේරම එක මොහොතකට හරි පැත්තකින් තියල සැහැල්ලු වෙන්න හොඳම ක්‍රමයක් තමයි හාස්‍ය කියන්නෙ.

මෙන්න මේ හින්දම තමයි හාස්‍යෝත්පාදක ටෙලි නාට්‍ය ලන්කාවෙ ප්‍රේක්ෂකයින් අතර වඩාත් ජනප්‍රිය. මෑතකදි නැවතත් මේ හාස්‍යෝත්පාදක ටෙලි නාට්‍ය රැල්ලක් මතු වෙන ආකාරය දකින්න ලැබුන. නමුත් බහුතරයක් ඒව දැක්කමනම් ඇතිවෙන්නෙ කණගාටුවක්. මොකද ඒව නමට විතරයි හාස්‍ය. අතරින් පතර හොඳ නිර්මාණ නොතිබුනාම නෙමෙයි. අතීතයේ ඉඳලම මෙවැනි ටෙලි නාට්‍ය ලංකාවෙ නිර්මාණයවුනා. සමහර කතා අමරණීය මතකයන් ඉතිරි කරන්න සමත්වුන නිර්මාණ. සමහර නිර්මාණවල හාස්‍ය විතරක් නෙමෙයි තිබුනෙ. තවත් නිර්මාණ හාස්‍යෝත්පාදක ලෙස වර්ග කරන්න බැරි උනත් ඒ කතා ඇතුලෙ තිබුනු සියුම් හාස්‍ය රසය පසුකාලීන බොහෝ නිර්මාණවල දකින්න තිබුනෙ නෑ.
අපි මේ හදන්නෙ අන්න ඒ වගේ කටක් ඇරල හොඳයි කියන්න පුලුවන් මතකයේ රැඳුනු හාස්‍යෝත්පාදක ටෙලි නාට්‍ය කිහිපයක් ගැන මතකය අලුත් කරන්න.

10. යස් බොස්.

සෙනරත් දුනුසිංහව මතක නැත්තෙ කාටද. විජය නන්දසිරි කියන සොඳුරු රංගවේදිය අපිව හිනස්සපු තවත් එක චරිත නිරූපණයක් තමයි යස් බොස් ටෙලි නාට්‍යයේ සෙනරත්. එකම ආයතනයක සේවය කරන සැමියා සහ බිරිඳ, සැමියාට වඩා තනතුරින් උසස් බිරිඳ, බිරිඳගෙ පස්සෙන් වැටුන බොසා, රස්සාව බේරගන්න බොස්ට කොලේ වහල ගහන අඹු සැමි යුවල, බොස්ගෙ නෝනට කඩේ යන සෙනරත්. මෙන්න මේ සිදුවීම් මාලාව වටා තමයි මේ කතාව ගොඩනැගුනෙ. ඒ වගේම ලකී ඩයස්ව හාස්‍යෝත්පාදක චරිතයක් තුළින් මුලින්ම දකින්නෙත් මේ ටෙලි නාට්‍ය හරහා.

09. තට්ටු ගෙවල්.

ස්වර්ණවාහිණී නාලිකාවෙන් විකාශනයවුනු තට්ටු ගෙවල් මතකද? ඇත්තටම තට්ටු ගෙවල් කියන්නෙ සරල කතාමාලාවක් උනාට හාස්‍යටම සීමා වූ කතාමාලාවක්ම නෙමෙයි. නිවාස සංකීර්ණයක ජීවත්වෙන විවිධාකාරයේ මිනිසුන් ආශ්‍රිතව ගොඩ නැගෙන කතාවල එකතුවක් තමයි මේකෙ තිබුනෙ. හේමසිරි ලියනගේ, දයා තෙන්නකෝන්, මැණිකේ අත්තනායක, ග්‍රේස් ආරියවිමල්, ඥාණාංග ගුණවර්ධන වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක්ම මේ ටෙලි නාට්‍යයට දායකවුනා. ඒ වගේම පිංපොං කියන චරිතය සමාජගත වෙන්නෙත් තට්ටු ගෙවල් හරහා.

08. සබඳ පබිලිස්.

“උණ පුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ”. කාලයක් අතිශය ජනප්‍රිය වූ ගීතයක්. ඒ වගේම ඇන්ටන් ජූඩ් කියන කලාකරුවව සදහටම මතක තියෙන ගීතයක් සහ කතාවක්. අතීතයේ පැවති පිටිසර ගමක සිදුවන සාමාන්‍ය සිදුවීම් ඉතාමත් අපූරුවට හාස්‍ය උපදවන ආකාරයට මේ කතාව තුළ ප්‍රතිනිර්මාණය කරල තිබුන. ජෝ අබේවික්‍රම, ඩබ්ලිව්. ජයසිරි, ඇන්ටන් ජූඩ්, ජනක කුඹුකගේ, ඩිලානි අබේවර්ධන, ප්‍රියා රණසිංහ වගේ ප්‍රවීණ රංගන ශිල්පී, ශිල්පිනියන්ගෙන් හැඩ වූ ටෙලි නාට්‍යයක් තමයි සබඳ පබිලිස්.

07. අසල්වැසියෝ.

බන්දල විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ අසල්වැසියෝ ටෙලි නාට්‍ය හාස්‍යටම සීමා වූ ටෙලි නාට්‍යක් නෙමෙයි. නමුත් මේ කතාව ගලාගෙන යන්නෙ සියුම් හාස්‍ය රසයක් ජනිත කරවමින්. මිනිස්සුන්ව අන්දල බොරුවෙන්ම ජීවත්වෙන චරිත ගැන හොඳ කතාවක් මේ ටෙලි නාට්‍යයෙ අන්තර්ගත වෙලා තියෙනව. හේමසිරි ලියනගේ, එලන් සිල්වෙස්ටර්, සුමින්ද සිරිසේන, ශ්‍රියන්ත මෙන්ඩිස්, ප්‍රියා රණසිංහ, තමාලි පීරිස්, යශෝධා විමලධර්ම, සමන්තා ඈපාසිංහ වැනි පිරිසක් තමයි මෙයට රංගනයෙන් දායකවුනේ.

06. නෝනාවරුනි මහත්වරුනි.

විජය නන්දසිරි මහතා මුලින්ම හාස්‍යෝත්පාදක චරිතයකින් රූපවාහිනී ප්‍රේක්ෂකයා හමුවට එන්නෙ සිරස නාලිකාවෙන් විකාශනය වූ නෝනාවරුනි මහත්වරුනි තුළින්. ඒ අදටත් අපි ආදරය කරන ප්‍රේමචන්ද්‍ර විදිහට. ප්‍රේම් විතරක් නෙමෙයි මාලි නන්දනී, මධුරි, නිහාල්, රත්නපාල, කොඩිතුවක්කු, මංජු, කරුණාවතී වගේ චරිත මේ කතාව තවත් වර්ණවත් කළා. ඒ වගේම මේ කතා මාලාවෙ එන නිහාල්ගෙ චරිතය මුලින්ම රඟපෑ ග්‍රැන්විල් රුද්‍රිගු මහතාවත් මෙහිදී සිහිපත් කළ යුතුයි.

05. වාඩිය.

“වාඩිය වාඩිය සයිමන් අප්පුගෙ සොමි වාඩිය එයා මෙයා වෙනසක් නෑ හැමටම එක මූඩිය” මතකද ඔය සින්දුව. ඕක තමයි හර්බට් රංජිත් පීරිස් හදපු වාඩියෙ තේමා ගීතය. හර්බට් රංජිත් පීරිස් කිව්වොත් ඉතින් රස සාගරයක් තමයි. මතකනෙ “ඇර සොයිස” චිත්‍රපටය. පතිරාජ එල්. එස්. දයානන්ද, වීජේරත්න වරකාගොඩ, රාජා සුමනපාල, සිරිල් ධර්මවර්ධන, හැරී විමලසේන, සුනිල් හෙට්ටිආරච්චි, රොඩ්නි වර්ණකුල, ග්‍රැන්විල් රුද්‍රිගු වගේම තව විශාල පිරිසක් මේ ටෙලිනාට්‍යයට රංගනයෙන් දායකවුනා. ඒ විතරක් නෙමෙයි ජිප්සීස් නායක සුනිල් පෙරේරා පවා මෙහි චරිතයක් නිරූපණය කළා.

04. නාන කාමරය.

මතකද නාන කාමරේ පොඩි මහත්තයයි, බිංදුයි? බන්දු සමරසිංහ ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. හැබැයි බන්දුගෙන් අපි නිතරම දකින චරිතවලට වඩා වෙනස්ම චරිත නිරූපණයක් තමයි නාන කාමරේ පොඩි මහත්තය. බිංදුගෙ චරිතය නිරූපණය කළේ රොඩ්නි වර්ණකුල. ඒ ඇර සුසිලා කෝට්ටගේ, ලාල් කුලරත්න, රෙබෙකා නිර්මලී, ප්‍රියන්ත සෙනෙවිරත්න, ඇන්ටන් ජූඩ් එහෙමත් මේකෙ හිටිය. අධ්‍යක්ෂණය කළේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් සමඟ ගිරිරාජ් කෞෂල්‍ය.

03. සකිසඳ එළියස්.

දයා රාජපක්ෂ රචනා කරපු චන්ද්‍රරත්න මාපිටිගම අධ්‍යක්ෂණය කළ සකිසඳ එළියස් හාස්‍යයෙන් පිරුණු කතාවක්. මේකත් සබඳ පබිලිස් වගේම පිටිසර ගමක සිද්දවුනු කතාවක්. ගමේ හැමෝටම ගිනිගෙඩි දෙන එළියස් අප්පුගෙ තරුණ සුරූපී බිරිඳට වහ වැටිච්ච කාසි චෙට්ටිගෙ කතාවත් එක්ක තවත් අතුරු කතා රැසක එකතුවක්. ජෝ අබේවික්‍රම, ජයලත් මනෝරත්න, රොජර් සෙනෙවිරත්න, ඩිලානි අබේවර්ධන තමයි ප්‍රධාන චරිතවලට පන දුන්නෙ.

02. එතුමා.

රාජමන්ත්‍රී, සුමනපාල, ලියන මහත්තය, කළු මුදලාලි, විපුල. ඔය චරිත ටික එකතුවෙන් හැදුනු දේශපාලන ප්‍රහසණය තමයි එතුමා. එතුමා කොයි තරම්නම් ජනප්‍රියවුනාද කියනවනම් පසු කාලෙක මේ චරිත යොදාගෙන සිනමාපටයක් පවා බිහිවෙනව. ඒ වගේම මේ ටෙලි නාට්‍යයත් සමඟම ජනප්‍රියවුනු වචන සෙට් එහෙකුත් තිබුන “ඇහුන් නෑ”, “මල්ලි හරි මල්ලි” වගේ. විජය නන්දසිරි, ලාල් කුලරත්න, රොඩ්නි වර්ණකුළ, ගිරිරාජ් කෞෂල්‍ය, කුසුම් රේණු තමයි මේ කතාව හැඩ කළේ.

01. බෝඩිම.

ජීවිතේට අමතකවෙන්නෙ නැති තැනක් තමයි වෙදමහත්තයගෙ බෝඩිම. ඒ වගේම තමයි බෝඩිංකාරයො සෙට් එක. ටියුෂන් සර්, සංගීත මාස්ටර්, පත්තර මහත්තය, කරාටි මාස්ටර්, පියදාස තමයි බෝඩිමේ සෙට් එක. එතකොට බෝඩිමේ අසල්වැසියො ටිකත් කියල වැඩක් නෑ. හෙට්ටිආරච්චි සහ පවුල. මේ කට්ටියට සිද්දවෙන අනේකවිද ඇබැද්දි, අලකලන්චි, බාල්දි ගැන වගේම මේ කට්ටියගෙ ජීවිත ගලාගෙන ගිය අන්දම තමයි මේ කතාවෙ තිබුනෙ. දයා අල්විස්, ජයලත් මනෝරත්න, හේමසිරි ලියනගේ, සිරිල් ධර්මවර්ධන, බන්දුල විජේවීර, සුනිල් හෙට්ටිආරච්චි, රොඩ්නි වර්ණකුළ වගේ තව නළු නිළියන් රැසක් බෝඩිමට දායකවුනා. අධ්‍යක්ෂණය බර්මින් ලයිලි ප්‍රනාන්දු.

මේ ටෙලි නාට්‍යවලට අමතරව වෙස් මාරුව, අලකලංචිය, දර ගැරෙජ්, පටලැවිල්ල, නයිට් ලර්නර්ස්, වගේ ටෙලිනාට්‍යයත් සිහිපත් කරන්න ඕනෙ. අපිට මඟහැරුණු නිර්මාණ ගැන දැනගන්න අපිත් කැමතියි. අන්න ඒකට තමයි පහළ comments තීරුව තියෙන්නෙ.


Like it? Share with your friends!

768 SHARES
768 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
1
Thanks
Cry Cry
0
Cry
Like Like
6
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ලංකාවේ නිර්මාණය වූ හොඳම හාස්‍යෝත්පාදක ටෙලි නාට්‍ය 10ක්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes