මල් සිඹින්නට පෙර…


අපි හැමෝම ජීවත් වෙන්න යුද්දයක් කරනවා. ඒ පාරේ හති මුණින් දාගෙන යද්දි ඉසිඹු ලු නිමේෂයක් ගීතයක් කියන්නෙ ඔබට දිව ඔසුවක්.

විඩාවෙන් ගිලන් වූ හදවත් සුවපත් කරවන භාව පූර්ණ ගීතාවලියක් ජීවත් වීමට නව අපේක්ෂාවන් දල්වනවා. ආනන්දයෙන් ප්‍රඥාව ඇති කරන්නේ එවැනි කලාකෘති තුළින්ම පමණයි.

ප්‍රේමය, විරහව, සතුට, දුක, වේදනාව, කරුණාව, ගෞරවය මේ ආදී මනෝභාවයන් ගීයක කැටිකොට ඉන්නිරාමිස සුවයක් සහෘද හදේ දල්වන්නට එවන් ගීත ඔබට මට අත්වැල් සපයන්නෙ නිර්ලෝභීව. සරතැස නිවන රස නුසුන් එහෙව් ගීතවල උප්පතිය පිටුපස මේ මහ පොළොවේ ඉපදුණ නිහඩ කතාන්දර වස්තු බීජ සපයනවා.

එවන් රස වෑහෙන සුභාවිත ගීත කිහිපයක උත්පත්ති කතාව අපි ඔබට කියන්න හිතුවා. ඉතින් …එන්න…මල් සිඹින්නට පෙර ඒ මල් පිපුණ හැටි බලන්න….

01. දැවී ගිය රෝස කුසුම

Image: sicbuddy.com

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලි
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල අරඹට ආවදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලට වශී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
මධුසමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී

ගිනි අවිත් එක්ක පෙමින් බදුන ව්හඟ සෙනග හාඩාවී
ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි රැක ගනින් දේවතාවී

රත්න ශ්‍රී ලියපු කපුගේ ගේ ගැඹුරු හඩින් ගයපු ඒ අපූරූ ගීතය ඉපදුණ කතාව ටිකක් වේදනා සහගතයි. කතානායිකාව විනීතා. දකුණේ ඉපදිලා ප්‍රේමය වෙනුවෙන් ගිනිගත් උතුරට ගිහින් දැවී ගිය රෝස කුසුම. මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ඇගේ කතාව කියවලා ඇයට වෛර කරන්න එපා කියලා.

Image: upaliariyasiri.lk

මාතර කඹුරුපිටියේ උපන් විනීතා ශ්‍රී ලංකා පොලිස් සේවයට බැදෙන්නෙ අධ්‍යාපන කටයුතු හමාර කරලා. පත්වීමේ ලිපියත් අරන් කොළොම්තොටට පා තැබුව ඇයට සේවය කරන්න වෙන්නෙ කිරුළපන පොලිස් ස්ථානයට අනුයුක්තව. ඇගේ දෛවය වෙනස් කරන ඉරණම්කාරයා මුණ ගැහෙන්නෙ එහිදි. ඔහු නඩේෂන්. උතුරුකරෙන් පොලිස් සේවයට බැදි තරුණයෙක්. ඇයට දෙමළ බැහැ. ඔහුට සිංහල බෑ. ඒත් ආදරයේ භාෂාවෙන් ඔවුන්ගේ හදවත් කතාකරනවා..

මේ කතාව ඇගේ දෙමාපියන්ට, නෑදෑයන්ට කණ වැකෙන කොට ජාති භේදය මහා බාධයක් වෙලා ඔවුන් දෙදෙනා මැද්දෙන් හිටගන්නවා. හැබැයි මේ කිසි දේකට ඒ ආදරේ නවත්වන්න බෑ. ඔවුන් විවාහ වෙනවා. වාර්ගික තහංචි වලින් තුවාල වෙච්ච හදවතත් අරන් විනීතා නඩේෂන් එක්ක ඔහු උපන් උතුරට පියාඹනවා.ඔවුන් සැනසීම හොයාන පියෑඹුවේ ගිනි ගොඩකට. උතුර ඒ වෙද්දි ජාතීවාදී ගිනිදැල් වලින් පිච්චෙන සමයක්. නඩේෂන් ඇයත් අරන් නතර වෙන්නෙ එල්.ටී.ටී.ඊ සංවිධානයේ දොරකඩ. ජාතිවාදයයෙන් තොරව උපන් ඒ ප්‍රේමය වෙනුවෙන් ඇය ඇගේම වර්ගයාට විරුද්ධව අවි අත දරනවා. අවි ගත්තෝ අවියෙන්ම නැසේ ..ඒ සනාථන දහම තහවුරු කරමින් කලකට පසුව නඩේෂනුත්, විනීතාත් ඒ යුදබිමේ සිය ප්‍රේමයත් සමග මිහිදන් වෙනවා. ඔවුන් සම්බන්ධ විවේචන ඔබට තියෙන්ට පුළුවන්. ඒත් ඔවුන් නික්මෙන්නෙ ආදරයේ සදාතනික පාඩම අපට උගන්වමින්.

Image: tharu.com

80 දශකයේ ජනප්‍රිය වුණ දයාසේන ගුණසිංහයන්ගේ මූලිකත්වයෙන් යුත් සිව්දෙස සගරාවේ පළකෙරුණ මේ කතාව කියවන කපුගේට මතක් වන්නේ සිය සුන්දර මිත්‍රයා. රත්න ශ්‍රී. ඔහු වහා සිය මිත්‍රයාට දුරකතනයෙන් දන්වනවා මේ කතාව කියවන්න කියලා. ඔහු දන්නවා. රත්න ශ්‍රී මේ කතාවෙන් අපූරූ නිර්මාණයක් කළ එළි බස්සන වග. සිංහල සින්දු කියන නලලේ තිලක තියන කිරිල්ලිට තටු ලැබෙන්නෙ ඒ විදිහට.

 

02. ඔබේම වන්නට විශ්වය අළුතින් ඉපදේවා…

Image: twentysomethingliving.com

ඔබට දැනෙන ගීතයක් පිටුපස ඔබේම පෞද්ගලික අත්දැකීම් සමහරවිට යන්තමින් හරි තැවරිලා ඇති. ඒ හින්දා එහෙම ගීතයක් ඇහෙන වෙලාවට ඔබට හිතේවි ඒ පද වැල් හුස්ම ගන්නවා කියලත්. ආදරය…ලෝකයේ උසස් නිර්මාණ බිහි වීමේ මහා සාධකය වෙලා ඉවරයි. නැත ලොවේ අන් රසදුනා…ආදරේ සේ සුවදෙනා කියලා සරච්චන්ද්‍රයන් කිව්වෙත් ඒ හින්දා. ස්ත්‍රී පුරුෂ ප්‍රේමය වෙනුවෙන් ලියවුණ ගීත සාහිත්‍ය ගත්තොත් ඒක ලියලා ඉවර කරන්න බැරි තරම්.

අපි හැමෝම ආදරේ හොයනවා. ආදරේ කියලා ඔබට හමුවුණ දේ ගැන කලක් ගතවන විට ඔබට හිතේවි මේ ඇත්තම ආදරේ ද කියලා. මම හිතන්නෙ ඇත්තම ආදරේ අපි හැමෝම මැරෙනකම් හොයනවා. ඒක තමයි ජීවිතේ හැටි. සමහර විට ඔබට ඔබේ ආදරේ කවදා හරි අත්ඇරිලා ඇති. නැත්නම් ලග ඉදලත් ආදරේයි කියලා කියා ගන්න බැරි වෙන්න ඇති.

මම මේ කියන්න යන කතාවත් එහෙම ආදරේ ලග තිබිලත් මග ඇරුණ දෙහිතක් ගැන. ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවීන නිවේදිකාවක හා ගීත රචිකාවක් වන කුසුම් පීරිස් මහත්මිය සේවයේ නියුතු එක් කාලසීමාවක ගුවන්විදුලියට බැදුණ තරුණියක් සහ තරුණයෙක් ලොකු යාළුමිත්‍ර කමකින් පසුවෙනවා. ගොඩක් අය හිතුවේ මේ ගොල්ලො පෙම්වතුන් කියලා. ඒත් ඇත්තම කතන්දරේ ඔවුන් පෙම්වතුන් කියලා ඔවුන් දෙදෙනා නොදැන ඉදපු එක. මෙහෙම ඉන්නැද්දි මේ තරුණියට විවාහ යෝජනාවක් එනවා. කියන්න තරම් වැරුද්දක් නොවුන එකේ ඇය සිය නිවසේ කැමත්තට ඉඩදෙනවා. විවාහ කටයුතුත් එක්ක ඇය ගුවන්විදුලියෙන් සමුගෙන යනවා. ඒ මොහොතේ කුසුම් පීරිස් මහත්මිය අර තරුණියගෙන් අහනවා මුලින් කියපු තරුණයා ගැනේ ඇගේ යම් කැමත්තක් තියෙයි ද කියලා.

‘‘ අනේ අක්කෙ මං බලන් හිටියෙ එයා මගෙන් අහයි කියලා. මං කෙල්ලෙක්නෙ. ඒහින්දා මට ෆස්ට් වෙන්න බෑනේ.. ඒ තරුණියගේ උත්තරේ. ඇය ගියාට පස්සෙ කුසුම් පීරිස් මහත්මිය අර තරුණයගෙන් අහනවා ඇයි ඔයා එයාගෙන් ඇහුවෙ නැත්තෙ කියලා.

‘‘ අනේ අක්කෙ. මට අහන්න ඕන වුණා. ඒත් එයා ඒ ගැන කිසිම ඉගියක් මට දුන්නෙ නැහැ. ඒ හින්දා ආදරෙයි කියන්න ගිහින් මගේ යාළුකමත් නැතිවෙයි කියලා හිතුණා. ඒකයි මම ඇහුවෙ නැත්තෙ කියලා…

ඔවුන් ආදර හැගුම් හිතේ ගුලිකරගෙන මතකය අතීතයට එකතු කළා. පස්සෙ දවසක අර තරුණිය මුණ ගැහුණ එක මොහොතකදී කුසුම් පීරිස් තරුණයාගේ කතාව ඇයට පවසනවා. ඇය ඉකිගගහා අඩනවා. ඇය වෙනත් කුලගෙයක පතිනියක්. ඇය මෙහෙම කියනවා

‘‘ ලෝකය නතර වෙලා මට ආයෙමත් ඒ අතීතයට යන්න පුළුවන් වුණොත්මම එයාට ආයෙත් ආදරේ කරනවා කියන්න..

Image: Sarasaviya.lk | කුසුම් පීරිස්

ඒ අත්දැකීම කුසුම් පීරිස් දෙමංසලේ තනිවූ සියළු පෙම්වතුන් වෙනුවෙන් ලියා තබනවා..

අසුරු සැනින් එක මොහොතක දී..
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා..
ඔබේම වී මා
මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා..

යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී
ඔබේම කුල ගෙයි පතිනිය වන්නට
මතු යම් දවසක හැකි වේවා
ඔබේම වී මා
මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

සෙනෙහෙ විමානේ කිරුල දරන දා
සිඟිති තොලට කිරි හිනා දකින්නට
එක සෙවනක දී හමුවේවා
ඔබේම වී මා
මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා
පද රචනය – කුසුම් පීරිස්
ගායනය – යමුනා විනෝදනී

03. ගුරු ගීතය

Image: ginasoleil.com

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

සාමා අමර විකුණති බස් පොළේ කජු
කුමාරෝද පිටු දන් දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ

රන්මසු පටපිළී අබරණ උරණ වෙලා
සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා

සුනිල් එදිරිසිංහයන්ගේ මනෝහර හඩින් සුගැයෙන මේ ගීතය ලියැවෙන්නේ ප්‍රවීණ ගීතරචක මහින්ද චන්ද්‍රෙස්කරයන් අතින්. නාදපති රෝහණ වීරසිංහයන්ගේ මියුරු තත්සරය හා මුසුවන ඒ පද වැල් සහෘදයා තුළ ඇති කරන්නෙ වෙනස් ආරක භාව කම්පනයක්.

මේ ගීතය ලියැවීම පිටුපස මහින්ද චන්ද්‍රෙස්කරයන් කියනා පරිදි කතා තුනකි.

ඉන් පළමු වැන්න නම් ඔහු ප්‍රාථමිකයේ උගන්නා අවදියේ පාසලේ මුල් ගුරුතුමන්ගේ විශ්‍රාම යෑමයි. එවකට පැටි වියේ සිටි මහින්දද ඒ විශ්‍රාම යෑමේ උත්සවය සහභාගී වන්නෙ සිය මව සමගිනි. උත්සවය වෙත අහළ පහළ ගම් හතක උදවිය පැමිණ මුල් ගුරුතුමන්ට සමුදෙන්නෙ හඩමිනි. මහින්දගේ අම්මාද එක් අතකින් මහින්ද එල්ලා ගෙන වරින් වර කදුළු සැලුවාය. උත්සවය නිමා වී ගෙදර එන මග මහින්දගෙන් අම්මාට ප්‍රශ්න වැලකි.

‘‘ඇයි අම්මෙ කට්ටිය ඇඩුවේ…අම්මත් ඇඩුවනෙ

ඒ හැමෝම ඇඩුවේ පුතේ එතුමා කරපු සේවයට…ඒත් කුඩා මහින්දට ඒක තෙරෙන්නෙ නැහැ.

ඒ කියන්නෙ…

පුතේ ගමේ වැව වාන් දාන කාලෙට ගමේ මිනිස්සුන්ට ගමෙන් එළියට යන්ඩවත් පිට මිනිස්සුන්ට ගමට එන්ඩවත් හරි අමාරුයි. වාන් දාන වතුර ඔය දිගේ පහළට යන කොට ඒ දඩු , පාලම් කඩාන ගම පිටින් යට කරගෙන. එතකොට ටික දවසක් යනකන් මිනිස්සු ගමෙන් පිට යන්න මේ ඔයේ එහා කෙළවරේ ඉදන් මොහා කෙළවරට කඹයක් බදිනවා. ඒ කඹේ එල්ලිලා තමයි යන්නෙ එන්නෙ. වැටුණොත් ඉතින් ජීවිතේත් කෙළවෙන වෙන ගණන්. මුල් ගුරුතුමා ගමේ ස්කොලෙට ආවේ පිට ඉදන්. වැහි කාලෙට එතුමා බසිකලේ එහා ගමේ දාලා ඉස්කොල ඇදුම ගලවලා අඹුඩෙ පිටින්අර කඹේ එල්ලිලා මෙගොඩට එනවා. ඇවිත් ආයෙ ඇදුම් අදිනවා. යද්දිත් එහෙමයි. වැස්ස කියලා මෙහෙ ඉස්කොලෙ නැවතුණෙ නෑ….

මහින්දගෙ අම්මා ඇදලා දුන්න ඒ පරමාදර්ශි ඇදුරුතුමන්ගෙ රූපය ඔහුගේ යටි හිතේ බිත්තියක සදාකාලික සිතුවමක් වෙනවා. ඒ පළවෙනි කතාව

දෙවනි කතාව

ඊට අවුරුදු තිහකට කිට්ටුව මහින්දට අයිත්මාතව්ගෙ ගුරු ගීතය පොත හම්බෙනවා.මට මතක හැටියට ඒ කාලේ පොත ගුරු ගීතය පොත පිටවුණෙ පළමුවන ගුරුවරයා කියන නමින්. ඒකෙ ඉන්න දුයිශේන් මහින්දට ඔහුගේ මුල් ගුරුතුමාව සිහිගන්වනවා. දුයිශේන් සෝවියට් සමාජවාදී රාජ්‍යය ඇතුළෙ බිහිවුණ පරමාදර්ශි ඇදුරෙක්. සාක්ෂරතාවයේ වටිනාකම සමාජයට පාඩම් කරවන්නට ඔහු ගන්න තැත කටුකයි. හැබැයි ඒ කටුවල අල්තීනායි වගේ මල් පිපුණා. ලංකාවේ මුල් ගුරුතුමාගේත් සෝවියට් දේශයේ දුයිශේන්ගෙත් සමාන සමාන්තරකම් දෙවන වරටත් මහින්දගේ හිතේ ඇදුණ රූපය යළිත් වර්ණවත් කරනවා.

තුන් වන කතාව

දෛවය මහින්ද චන්ද්‍රෙස්කරයන්ද සිප් නැණ දෙන ඇදුරෙක් බවට පත්කරනවා. ඔහු අම්පාරේ කෙළවර පානම් පත්තුවේ මහා විද්‍යාලයේ ගුරු පත්වීමක් අරගෙන ඉන්නැද්දි දවසක් බස් එකෙන් බැහැලා පාසල දෙසට එන පුද්ගලයෙක් ඔහු දකිනවා. තෙල් බෙහෙත් වෙලෙන්දෙක්. මහින්ද පුර්ව නිගමනයකට එනවා.

නෑ. සරම කමිසේ ඇදලා ට්‍රන්ක පෙට්ටියක් අරන් තට්ටෙ පෑදුණ මේ මිනිසා පාසලට මාරුවක් ලබා ආ ගුරුවරයෙක්.

විශ්‍රාම යන වයසේ හිටපු මේ ගුරුතුමා පානමට එන්නෙ දඩුවම් මාරුවකින්. ඔහු හිටියෙ වේදනාවෙන්.

‘‘ ඔබතුමා කව්රුහරි දේශපාලකයෙකුට කිව්වෙ නැද්ද…එහෙම කීවා නම් ඔබතුමාගේ මාරුව අවලංගු කර ගන්න තිබ්බා… මහින්ද චන්ද්‍රෙස්කරයන්මේ වයස්ගත ගුරුවරයා ගැන උපන් අනුකම්පාවෙන් එහෙම කිව්වා.

‘‘ මං ගියා… දැන ඉන්න අධ්‍යාපන නියෝජ්‍ය ඇමති මගෙ ගෝලයෙක්. උන්නැහෙ මාව අදුනා ගත්තෙ නැති ගාණට හිටියා… ඔහු දුක්මුසු ස්වරූපයෙන් පවසනවා.

‘‘ සිප් කිරි පෙව් මූසිලයන් උඩු මාලේ……. මේ පද පෙලට ඔහුට අරුත් සපයන්නට ඇත්තෙ මේ කතාව වෙන්න ඇති.

ඉතින් ඉහත කතා තුන මහින්ද චන්ද්‍රෙස්කරයන් අර මුලින්ම හිතේ ඇදගත්ත රූපය එක්ක ගලපනවා. පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ මේඅරුත්බර ගීයඔබට සවන් වැකෙන්නෙ ඒ වෑයමෙන් අනතුරුව.

04. මාස්ටර් සර්

මේ ගීතයේ ඔබට හුරුපුරුදු හඩ නීලා වික්‍රමසිංහයන්ගෙ. මේ ගීතය සම්බන්ධ විවිධාකාර මතභේදාත්මක කරුණ රැසක් තිබුණද වසර 40 ක් පමණ සිට සහෘද ආකර්ෂණය නොමඳව දිනා ගත්තක්.

මෙහි පද රචනය හා ගායනය සම්බන්ධයෙන් අයිතිය පාර්ශවයන් කිහිපයක් අතරේ දෝලනය වනවා. මණික් සන්ද්‍රසාගරයන්ගේ අධ්‍යක්ෂණයෙන් 1975 තිරගත වූ කළු දිය දහර චිත්‍රපටය සඳහා ගැයෙන මේ ගීය මුලින්ම රචනා වී තිබුණෙ ඉංග්‍රීසි බසින් . නිමල් මෙන්ඩිස් මහතා විසින් එලෙස ඉංග්‍රීසි බසින් රචිත මේ ගීතය කරුණාරත්න අබේසේකරයන් සිංහලයට නගනවා.

Image: asiantribune.com | නිමල් මෙන්ඩිස්

නිමල් මෙන්ඩිස් මහතාගේ පෞද්ගලික අත්දැකීමක් මත පදනම් වී ඇති මෙහි අනුභූතිය වෙනස් ආකරයේ මාතෘකාවක කතිකාවක් සමාජ ගත කරන බැවින් එහි නිධාන කතාව අපි ඔබට කියන්න හිතුවා.

නිමල් මෙන්ඩිස් මහතාගේ හිරිමල් තරුණ විය ඔහු ගත කළේ එංගලන්තයේ සමාජ ශාලාවක පියානෝ වාදකයෙක් ලෙසයි. ඔහු පුරුද්දක් විදිහට සමාජ ශාලාවේ රාජකාරී අවසන් කරලා නවාතැනට එන්නේ ඒ මාර්ගයේ තිබූ අන්තිම බස් රථයෙන්.

දිනක් ඔහුට මේ බස් රථය මග ඇරෙනවා. ඒත් ඔහු නවාතැනට යායුතුමයි. දෙපයේ පිහිට හිතට අරගෙන සීතලේ ඔහු පයින් ඇවිදන් එනවා. එක් වර පැමිණි වෑන් රථයකින් ඔහුගේ මග හරස් කරනවා. ඉන් පැමිණි ඉංග්‍රීසි ජාතිකයන් කිහිපදෙනෙක් නිමල් මෙන්ඩිස් මහතාගේ හමේ පාට කියමින් විවිධ අපවාදයන් අපහාසයන් කරනවා. අයෙක් තුවක්කුවකින් වෙඩි තියනවා. ඔහු පණ බේරා ගන්නෙ කකුල් දෙකේ හයියෙන්.

මේ සිද්ධියත් සමග ඔහුට එංගලන්තයේ ජීවිතය එපා වෙනවා. කෙතරම් ශිෂ්ඨ සම්පන්නරටක් වුවද අළු යට ගිනි මෙන් වර්ණභේදය රැජිනගේ රාජ්‍යෙය්ත් හොල්මන් කරනවා. නිමල් මෙන්ඩිස් මහතාට සුදු ජාතික මිත්‍රයන් රැසක් සිටියා. ඔහුන්ගේ විරෝධය මැද අවසානයේ දී ඔහු එංගලන්තය අතැර ලංකාවට එනවා.

ඉන්පසුව ඔහු වැවිලිකරුවෙක් ලෙස ජීවිතය පටන් ගන්නේ නෝටන්බ්‍රිජ් වල අක්කර 10 ක වතුයායකින්. මේ වතුවල වැඩ කරන්නේ දෙමළ ජාතිකයන්. ඔවුන් සිය ස්වාමියා වුන නිමල් මෙන්ඩිස්ට කතා කරන්නෙ මාස්ටර් කියලා. සිංහල මිනිස්සු කතා කළේ සර් කියලා.

නිවීසැනසිල්ලෙ කල්පනා කරනකොට නිමල් මෙන්ඩිස්ට තේරේනවා වර්ණ භේදය , වර්ග භේදය, කුලමල තියෙන්නෙ එංගලන්තයේ විතරක් නෙමෙයි කියලා. මේ අත්දැකීම් පාදක කරගනිමින් ඔහු මාස්ටර් සර් ගීතය ඉංග්‍රීසියෙන් ලියනවා.

ඒ කළුදිය දහර චිත්‍රපටය වෙනුවෙන්.

මේ ගීතය ලාංකීය ගීත සාහිත්‍ය තුළ විශාල වෙනස් කම් වලට භාජනය වූවක්. නෙවිල් ප්‍රනාන්දු හා නීලා වික්‍රමසිංහයන් විසින් මුල් ගීතය ගයන අතර වරෙක එය නෙවිල් ප්‍රනාන්දු විසින් තනිව ගයන අතර තවත් විටෙක නීලා වික්‍රමසිංහයන් ද තනිව ගායනා කරනවා.

නෙවිල් ප්‍රනාන්දු මහතාගේ අභාවයේන් පසුව නීලා වික්‍රමසිංහයන්ගේ හඩ මේ ගීතය සදහා වඩාත් සමීප වෙනවා. භාතිය සංතුෂ් දෙපළ විසින් ද පසුකලෙක මේ ගීතය වෙනස් ආරකින් ප්‍රතිනර්මාණය කරනවා. පහත සඳහන් වන්නෙ නෙවිල් ප්‍රනාන්දුගේ හඩින් ගැයෙන මේ ගීයයි.

05. දුකම කොයි තරම් සතුටක්දෝ

Image: Pixhome

රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ කියන්නේ ලාංකීය ගීත සාහිත්‍ය බුදු දහමින් පෝෂණය කළ ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවෙක්. උන්වහන්සේ බුදු දහම ගීත මාධ්‍යයෙන් සමාජ ගත කළ හිමිනමක්. එවන් වික්‍රමයක් කළ හැක්කෙ ප්‍රතිභාපූර්ණ කවියෙකුටම පමණයි. උන්වහන්සේගේ ගීත සාහිත්‍ය තුළ බුදු දහමින් ලැබූ ශික්ෂණයත් අව්‍යාජ ගැමිකමත් නොඅඩුව තිබෙනවා. ලා දළු බෝපත් , හිමි සණරාමර, අපි අසරණ වෙලා වගේ… ආදී ගීත ඊට හොඳම උදාහරණ.

මේ කියන්න යන්නෙ උන්වහන්සේගේම පෞද්ගලික අත්දැකීමක් මත පදනම් වුණ ගීතයක උත්පත්ති කතාව.

සිද්ධාර්ථ හාමුදුවෝ තමන්ගෙ ගමන් බිමන් සඳහා බොහෝ වෙලාවට යොදා ගන්නෙ පොදු ප්‍රවාහන සේවය. සිය නිර්මාණ සඳහා අත්දැකීම් සපයා ගැනීමට සාමාන්‍ය මිනිස්සු අතරේ ගැවසීමට උන්වහන්සේ ප්‍රිය කළා විය යුතුය. ඒ යන හැම දිනකම උන්වහන්සේ අත කොළයක් පෑනක් වරදින්නෙ නැහැ.

දිනක් උන්වහන්සේ දුම්රියෙන් කොළඹ බලා ගමන් ගන්නා මොහොතක දී දුම්රිය නැවතුමක් නොවන ස්ථානයකදී නතර වෙනවා. සිග්නල් නැතුව වෙන්නැති කියලා හිතපු මගීනුත් නිහඩව ඉන්නවා. ඒත් වේලාව ඉක්ම ගියපු හින්දා මගීන් කිහිපදෙනෙක් නැගිටලා ඉදිරි මැදිරි වලින් විපරම් කරනවා. සිද්ධාර්ථ හාමුදුරුවො නිස්කලංකව වැඩහිටියා.

හැබැයි උන්වහන්සේ හිටියේ සවිඥානකව.

විපරමේ ගියපු මගීන් නැවත දුම්රිය මැදිරියටනැගෙනවා. දුම්රිය යළි ගමන් කරනවා උන්වහන්සේ වැඩසිටි ආසනය කෙළවර කවුළුවෙන් දකිනවා පහුවෙන සෙනග ගොඩක් .

මොකද එතන වෙලා තියෙන්නෙ… උන්වහන්සේ විමසනවා..

ගෑණූ ළමයෙක් කොච්චියට පැනලා හාමුදුරුවනේ. එතනමයි….

‘‘ අපරාදේ තරුණ ජීවිත …

පහන් සංවේගයෙන් උන් වහන්සේ අත තිබූ කොලයේ යමක් කුරුටු ගානවා. ගමන අවසාන වෙනෙකොට ඔබටත් මටත් ජීවිතය ගැන අළුතින් යමක් හිතන්නට හැකි ගීතයක් බිහිවෙලා අවසන්.

Image: thetriplegem.blogspot.com

ඒ පද වලට සේනානායක වේරලියද්දගෙ හඩ එකතු වුණාම අපේ හිතුවිලි මනසට එක්තැන් කරන අපූරු නිර්මාණයක් රසාලිප්තව ගැයෙනවා.

පෙරුම්පුරාගෙන ආ සන්සාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඬවේ
දුම්රිය මොහොතක් නතරවුනේ..

මලක් වගේ රොන් සුවඳ වගේ..
ජීවිතයේ සුව අපමණ වේ…//
දොළක් වගේ දිය දෝත වාගේ
ජීවිතයේ අම සිසිළ දැනේ….

වරක් නෙතග කදුළැලි පිරුණාදෝ
සිතට දරා ගනු බැරි දුක් වීදෝ…//
දිවිය මොන තරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක්දෝ…

06. ඇය යන්න ගියා මැකිලා

Image: theabundanceproject.com

අමරසිරි පීරිස් මහතාගේ ගැඹුරු ශෝකී හඩින් සුගැයෙන මේ ගීතය සහෘද හදවත් ශෝකී රසයෙන් සසුර කරනා අපූරූ නිර්මාණයක්. පෞද්ගලික අත්දැකීමක් නොවුණත් ඔබ බොහෝ දෙනෙක් මේ ගීතයට ප්‍රියයි.

මේ කියන කතාව මේ ගීතයේ උත්පත්ති කතාව නෙමෙයි. ඒත් ගීයට වස්තු බීජ සපයන්නෙ වෙනත් කරුණක් වුවත් මම මේ කියන්න යන සිද්ධිය අන් කවරකටත් වඩා ඒ ගීතය හා ගැලපී යනවා.

2001 මාර්තු මාසේ එක් දිනයක ප්‍රවීණ සංගීතඥ එච් එම් ජයර්ධනයන් එක්තරා පද රචනයකට තනුවක් යොදනවා. මේ පද රචනය ගීත රචකයා විසින් කාලයකට පෙර එච්.එම් වෙත බාර කළ එකක්.

මොකක්දෝ හේතුවකට ඔහුට ඊට තනුවක් යොදන්නට සිත් දුන්නෙ නැහැ. ඔහුගේ ප්‍රියම්බිකාව වන මාලනී බුලත්සිංහලයන් ඒ වන විට විදෙස් සංචාරයක් සදහා ඇමරිකාවට පිටත්ව ගොසින්. ඇය නොමැති ඒ රාත්‍රියේ තොල ගෑ මදුවිත ඔහුගේ සංවේදී හැගුම් අවදි කරලා තිබුණා. ඒ පද රචනයේ සුවිශේෂි ගතියක් සහ කිසියම් ගුප්ත ශෝකි රසයක් ඔහු තුළ ලැගුම් ගන්නනවා. එච්.එම් කියන පදිරි ඒ මොහොත ඔහුගේ දෑසට කදුළු ගෙන ආ නිමේෂයක්.

මේ ගීතය රචනා කළේ ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා විසින්. එච්.එම් අපූර්ව තනුවක් යොදලා ඒ ගීතය අමරසිරි පීරිස් මහතා වෙත භාර කරනවා. ඊටත් දින කිහිපයකට පසුව එච්.එම් තනිකරමින් මාලනී දිවි මඩලෙන් නික්ම යනවා. … එය දැනගත් මොහොතේ එච්.එම් ට මේ ගීතය සිහිපත්වෙන්නට ඇති.

ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳඑළියේ මං පෙත පාදා
රහසක් සඟවා
ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා

යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මූණ වසා…..

– පුවත්පත් හා අන්තර්ජාලය ඇසුරිනි


Like it? Share with your friends!

630 SHARES
630 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
2
Lol
OMG OMG
4
OMG
Thanks Thanks
4
Thanks
Cry Cry
3
Cry
Like Like
23
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

මල් සිඹින්නට පෙර…

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes